ආර්ථික
අගමැතිනියගෙන් ආහාර ආනයන පාලනය ලිහිල් කිරීමට ප්‍රතිඥා!
image for අගමැතිනියගෙන් ආහාර ආනයන පාලනය ලිහිල් කිරීමට ප්‍රතිඥා!

දිත්වා සුළි කුණාටුවෙන් ප්‍රධාන කෘෂිකාර්මික ප්‍රදේශවලට පුළුල් ලෙස ජල ගැලීම් ඇති වී වගාවන් විනාශ විය.
එවැනි පසුබිමක, ශ්‍රී ලංකාවට ආහාර ආනයනය පාලනය කිරීමට පනවා ඇති නීති ලිහිල් කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම තීරණයට වැඩිදුරටත් හේතු වී ඇත්තේ ආහාර ප්‍රවාහනය අවහිර කරමින් ප්‍රවාහන කටයුතුවලට ද බාධා එල්ල වී තිබීම යි.

“මෙය ආහාර මිල ඉහළ යන කාලයකි,” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය දෙසැම්බර් 02 වැනි දින ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික සංසදයේදී පැවසුවා ය.

තව ද, අඛණ්ඩව ආහාර සැපයුම පවත්වාගෙන යාමට සහ මිල ගණන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි  යම් යම් ආනයන රෙගුලාසි ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ මූලික ආහාර සඳහා දැඩි ආනයන පාලන සහ අධික ආනයන බදු ඇත. 

එසේ ම, බඩ ඉරිඟු සම්බන්ධයෙන් මෙම පාලනයන් ඊටත් වඩා දැඩි වේ. බඩ ඉරිඟු ආනයනය බලපත්‍ර සහ බදු යටතේ පවතින බැවින්, එය කුකුළු මස් වැනි මූලික ප්‍රෝටීනවල මිල ඉහළ යාමට ද හේතු වී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් අතර ප්‍රෝටීන් මන්දපෝෂණය සහ වර්ධනය අඩාල වීම දක්නට ලැබේ.

මේ අතර අග්‍රාමාත්‍ය අමරසූරිය පැවසුවේ ප්‍රධාන මහ කන්නය සඳහා බොහෝ ගොවීන් තම කුඹුරු සීසා බිත්තර වී වැපිරීමෙන් පසු ඒවා ජලයෙන් යට වූ බවයි.

“ඔවුන් දැන් වගා කිරීම ආරම්භ කළ නිසා එය ප්‍රධාන බලපෑමක් වී තිබෙනවා” ඇය පැවසුවා ය.

තවදුරටත් වී සම්බන්ධයෙන් ඇති කනස්සල්ල වන්නේ බීජ දැනටමත් භාවිතා කර තිබීම බවත්, ඒ හේතුවෙන් ඒවා ආනයනය කිරීමට සිදුවනු ඇති බවත් ඇය සඳහන් කළා ය.

එමෙන්ම ගොවීන් තම නිවෙස්වල තබාගෙන සිටි වී ද ගංවතුරින් හානියට පත්ව ඇති බව ද අවධාරණය කළා ය.

ඒ හේතුවෙන් ගොවීන්ට ඉක්මනින් වන්දි ලබා දීමටත්, පොහොර සැපයීමටත් කටයුතු කරමින් සිටින බවත්, එමඟින් ඔවුන්ට නැවත වගා කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවත් ඇය පැවසුවා ය.

කෙසේවෙතත්, ගංවතුරෙන් යට වූ කුඹුරුවලින් වැලි ඉවත් කිරීමට ගොවීන්ට ඉඩ නොදෙන දැඩි රෙගුලාසි ද ශ්‍රී ලංකාවේ පවතී.

එමෙන්ම එළවළු ආනයනයට ඉඩ දීම සඳහා ඇතැම් නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීමට ද ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව ඇය පැවසුවා ය.

මේ අතර, කර්මාන්ත නිලධාරීන්ට අනුව, ශ්‍රී ලංකාවට කුකුළු මස් මෙන්ම බිත්තර දමන කුකුළු ගොවිපළේ කොටසක් ද ගංවතුරට අහිමි වී ඇති අතර, එය රටේ ප්‍රෝටීන් සැපයුමට විශාල බලපෑමක් එල්ල කර තිබේ.