ආර්ථික
ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගා සිටුවීමට IMF අමතර සහාය!
image for ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගා සිටුවීමට IMF අමතර සහාය!

ශ්‍රී ලංකාව පුරා ඇති වූ විනාශකාරී සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන් පැහැදිලි ආර්ථික බලපෑමක් ඇති වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) දෙසැම්බර් 4 වන දින ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් සිදු වූ හානි පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් සිදු කිරීමෙන් පසු, සහයෝගය පුළුල් කිරීමට සූදානම් බව IMF විසින් දැනුම් දෙන ලදී.

මෙහිදී IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් සිය නිත්‍ය මාධ්‍ය හමුවේදී අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සිය සහයෝගීතාවය ප්‍රකාශ කළා ය. 

“අපගේ හදවත් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත යොමු වන අතර, සිදුවී ඇති ජීවිත හානි පිළිබඳව අපි ශෝක වෙමු,” ඇය එලෙසින් සිදු වූ ව්‍යසනය පිළිබදව සිය අදහස් අවධාරණය කළා ය.

තව ද, දරුණු ගංවතුරෙන් පීඩාවට පත් වූ ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය සහ වියට්නාමය වෙත ද සිය ශෝකය ප්‍රකාශ කළ ඇය, ඒ අතරතුර ආපදාවේ මානුෂීය, සමාජීය සහ ආර්ථික හානිය තේරුම් ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන්, සංවර්ධන හවුල්කරුවන් සහ අනෙකුත් පාර්ශ්වයන් සමඟ IMF සමීපව කටයුතු කරන බව ද තහවුරු කළා ය.

“ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ ගංවතුරෙන් පීඩාවට පත් වී ඇති බව අපට වැටහෙනවා. ඒ අනුව, සැලකිය යුතු මිනිස් ජීවිත හානිවලට අමතරව, ආර්ථික ක්‍රියාකාරකම්වලට අහිතකර ලෙස බලපෑම් ඇති වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා,” ඇය තවදුරටත් පැවසුවා ය.

තව ද, ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව රජය විසින් ක්ෂණික ආපදා හානි තක්සේරුව (Rapid Post-Disaster Damage Assessment) සම්පූර්ණ කළ පසු IMFහට සිදු වූ හානිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබෙනු ඇති බව ඇය පැවසුවාය. 

මේ අතර, සිදු වෙමින් පවතින ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරිය, ශ්‍රී ලංකාවට ලබා දෙන අරමුදලේ කැපවීම වෙනස් වී නොමැති බව අවධාරණය කළා ය.

එමෙන්ම, දිගුකාලීන අරමුදල් පහසුකම් (EFF) විධිවිධානය යටතේ ශ්‍රී ලංකාවේ යථා තත්ත්වයට පත්වීම, ප්‍රතිසංස්කරණ සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා අඛණ්ඩව සහාය දක්වන බව ද ඇය සිහිපත් කළා ය.

තව ද, සුළි කුණාටුවට පෙර, IMF කාර්ය මණ්ඩලය සහ රජය ඔක්තෝම්බර් මාසයේදී පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට (Staff-Level Agreement) දැනටමත් පැමිණ තිබූ බව ඇය පෙන්වා දුන්නා ය.

කෙසේ වෙතත්, වැදගත්ම කරුණ නම්, ආපදාව සැලකිල්ලට ගනිමින් සහාය පුළුල් කිරීමේ මාර්ග IMF දැන් ඇගයීමට ලක් කරමින් සිටින බව ඇය සදහන් කිරීමයි.

“යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය දැක්වීම සඳහා කාර්ය මණ්ඩලය විකල්ප සොයමින් සිටී,” ඇය තවදුරටත් අවධාරණය කළා ය.

එසේ ම, සැලසුම් කළ පරිදි දෙසැම්බර් 15 වන දින මණ්ඩලය රැස්වීමට IMF තවමත් අපේක්ෂා කරන බව ද පැවසුවා ය.

ඒ හේතුවෙන්, EFFහි හයවන ණය කොටස වන ඩොලර් මිලියන 350ක් පමණ ශ්‍රී ලංකාවට සති දෙකක් ඇතුළත කඩිනමින් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය සහ ආර්ථික විශ්ලේෂකයන් අපේක්ෂා කරයි.

අවසාන වශයෙන්, ආර්ථික අවශ්‍යතා සහ හානි තක්සේරුව ඉදිරියට යන විට, ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය විය හැකි ආකාරය පිළිබඳව තීරණ ගැනීමට අවශ්‍ය වැඩිදුර තොරතුරු ලැබුණු පසු, අමතර විස්තර ප්‍රකාශයට පත් කරන බව ද ඇය අවධාරණය කළා ය.