ආර්ථික
ශ්‍රී ලංකාවට වූ හානිය තක්සේරු කිරීමට ලෝක බැංකුව ඉදිරියට!
image for ශ්‍රී ලංකාවට වූ හානිය තක්සේරු කිරීමට ලෝක බැංකුව ඉදිරියට!

දිත්වා (Ditwah) සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකාවට සිදුවූ හානිය තක්සේරු කිරීමේ වගකීම ලෝක බැංකුවට පවරා ඇත. ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වී තිබුණි.

ඒ අනුව යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ නියෝජිතයින්ගේ එකතුවෙන් ප්‍රතිසාධන අරමුදලක් පිහිටුවන බව ද එම නිවේදනයේ දැක්වේ.

සාකච්ඡා ඇරඹීම : විවිධ අංශවලට සිදුව ඇති හානිය පිළිබඳ සවිස්තරාත්මක තක්සේරුවක් සහ ප්‍රතිසංස්කරණයන් සඳහා අවශ්‍ය මූල්‍ය අවශ්‍යතා සකස් කිරීම පිණිස රජය දැනටමත් ලෝක බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.

මේ අනුව ලෝක බැංකුවට ගෝලීය කඩිනම් පශ්චාත් – ආපදා හානි තක්සේරුව (Global Rapid Post-Disaster Damage Estimation – GRADE) සිදු කිරීමට භාර දී ඇත. 

මොකක්ද මේ GRADE? : ගෝලීය කඩිනම් පශ්චාත්-ආපදා හානි තක්සේරුව (Global Rapid Post-Disaster Damage Estimation – GRADE) යනු, ස්වභාවික ආපදාවකින් පසු සති දෙකක් ඇතුළත භෞතික හානි සහ ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට වියදම් වන පිරිවැය පිළිබඳ තක්සේරුවක් සපයන ලෝක බැංකුවේ ක්‍රමවේදයකි.

 

එය, නිවාස, යටිතල පහසුකම් සහ අනෙකුත් ප්‍රධාන අංශවලට සිදුවන හානිය තක්සේරු කිරීමට චන්ද්‍රිකා ඡායාරූප, සමාජ මාධ්‍ය සහ ඉංජිනේරු දත්ත වැනි දත්ත භාවිතා කරයි.

එකී තක්සේරුව මඟින් ආපදාව නිසා සිදුවූ හානි නැවත යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට, ප්‍රතිසංස්කරණ සැලසුම්කරණයට හා අනාගත අවදානම් අවම කිරීම සඳහා මඟ පෙන්වීමට අවශ්‍ය දත්ත සපයයි. 

ඒ අනුව මෙමගින් ගොඩනැගිලි සහ යටිතල පහසුකම් වැනි වත්කම්වලට සිදුවන සෘජු භෞතික හානිය කෙරෙහි අවධානය යොමු කරන අතර කෘෂිකර්මාන්තය වැනි අනෙකුත් අංශයන්ගේ හානි ද ඇතුළත් වේ.

කෙසේ නමුත් මෙයට ව්‍යාපාර බිඳවැටීම් (business interruption) හෝ හදිසි ප්‍රතිචාර පිරිවැය (emergency response costs) වැනි වක්‍ර අලාභ ඇතුළත් නොවේ.

ඒ අනුව මෙම GRADE තක්සේරුව සති දෙකක් ඇතුළත ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි.

විවිධ අදහස් : “මෙරටට සිදුවූ හානියේ තරම මතුපිටින් පෙනෙන ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩියි”, “ප්‍රතිසාධනය සඳහා වන සම්පූර්ණ මූල්‍ය බර භාණ්ඩාගාරයට තනිවම දැරිය නොහැක.” යනුවෙන් ජනාධිපතිවරයා පසුගිය සඳුදා (01) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ය. 

ශ්‍රී ලංකාව තුළ දැනටමත් හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. 

ඒ අනුව ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ මධ්‍යම හදිසි ප්‍රතිචාර අරමුදල ඇතුළු ඇතැම් ජාත්‍යන්තර අරමුදල් වෙත ප්‍රවේශ වීමට ශ්‍රී ලංකාවට හැකි වේ.

“අපේ රට නැවත ගොඩනැගීමට අවශ්‍ය සැලකිය යුතු අරමුදල් ප්‍රමාණයක් අපට රැස්කළ හැකියි,” යනුවෙන් ජනාධිපති දිසානායක මහතා පසුගිය ඉරිදා (30) රාත්‍රියේ ජාතිය ඇමතූ අවස්ථාවේදී පැවසී ය.

“එ සඳහා මිත්‍රශීලී ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට අපි ඔවුන් සමඟ ඉතා සමීපව කටයුතු කරනවා. ඊට අමතරව, ඔවුන්ගේ සහාය ලබා ගැනීම සඳහා අපි විවිධ ජාත්‍යන්තර සංවිධාන සමඟ සම්බන්ධ වෙනවා. දේශීය ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් වෙත ද ඔවුන්ගේ සහාය ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.”

වර්තමාන තත්වය: ශ්‍රී ලංකාවේ කඳුකර මාර්ග පද්ධතිය නායයෑම් සහ සුන්බුන් කඩා වැටීම් හේතුවෙන් විනාශ වී ඇති අතර, බොහෝ මාර්ග ගංවතුරට හසුවී ගසාගෙන ගොස් ඇත.

බොහෝ ප්‍රදේශවල විදුලිබල පද්ධතියට ද හානි වී ඇත. 

විශාල ගොවිබිම් ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇති අතර, සත්ත්ව හානි පිළිබඳ තොරතුරු ද වාර්තා වේ.

ඒ අනුව නිවාස සහ වෙළඳසැල්, ආහාර සහ වෙනත් භාණ්ඩ තොග සමඟ ජලයෙන් යට වී තිබේ.