කාලීන
ආපදා තත්ත්වයෙන් පසු රට යළි ගොඩනැගීමට රු. බිලියන 30ක්!
image for ආපදා තත්ත්වයෙන් පසු රට යළි ගොඩනැගීමට රු. බිලියන 30ක්!

දිත්වා චණ්ඩ මාරුතය ශ්‍රී ලංකාව, මෑතකදී මුහුණ දුන් විශාලතම සහ වඩාත් අභියෝගාත්මක ස්වභාවික විපත ලෙස සැලකිය හැකිය. පසු ආපදා තත්ත්වය සම්බන්ධයෙන් රජය ගනු ලබන පියවර සහ රට යළි ගොඩනැගීමේ සැලසුම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (30) දිනයේ රට අමතා ප්‍රකාශයක් නිකුත් කරන ලදී.

එම ප්‍රකාශයෙන්, විනාශ වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමට සහ අත්‍යවශ්‍ය සේවා යථා තත්ත්වයට පත් කිරීමට රජය සතුව අවශ්‍ය මූල්‍ය ශක්තිය සහ ආයතනික රාමුව පවතින බවට ඔහු සහතිකයක් ලබා දුන්නේ ය.

තව ද, ආපදා කළමනාකරණය සහ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීම සඳහා රජය විසින් ගෙන ඇති වැදගත් මූල්‍ය පියවරයන් ජනාධිපතිතුමා විසින් පැහැදිලි කළේය.

  • රුපියල් බිලියන 30ක ක්ෂණික ප්‍රතිපාදන: 2025 අයවැය තුළින් රුපියල් බිලියන 30ක මුදලක් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව වහාම වියදම් කිරීම සඳහා වෙන් කර ඇත. මෙම අරමුදල් ආපදා ප්‍රතිචාරය සඳහාම වෙන් කර තිබේ.
  • කාර්යක්ෂම ලෙස අරමුදල් වෙන් කිරීම: ඉදිරි කාටයුතු වලට අවශ්‍ය අරමුදල් පිළිබඳ සවිස්තරාත්මක ඇස්තමේන්තු වහාම ඉදිරිපත් කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.
  • වියදම් සීමා ලිහිල් කිරීම: හදිසි අවශ්‍යතා සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැන් සෘජුවම රුපියල් මිලියන 50ක් දක්වා වියදම් කිරීමට අවසර දීමෙන් සහන කටයුතු ක්‍රියාත්මක කිරීමේ නීතිමය හා මෙහෙයුම් හැකියාව ඉහළ නංවා තිබේ.
  • අතිරේක මූල්‍ය සම්පාදනය: දැනට වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් නොවේ නම්, අතිරේක ඇස්තමේන්තු හරහා පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තවදුරටත් ප්‍රතිපාදන ලබා ගැනීමට රජය කටයුතු කරන බවට සහතික වී ඇත. 

එසේම, චණ්ඩ මාරුතය හේතුවෙන් විදුලිබල, ජල සැපයුම, සන්නිවේදනය සහ ප්‍රවේශ මාර්ග ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලට බරපතල හානි සිදුවී ඇති අතර, ඊට පිළිතුරු වශයෙන් හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කිරීම වැනි ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

තවදුරටත් අදහස් දක්වමින් චණ්ඩ මාරුතයෙන් සිදුවූ හානිය අතිවිශාල බව ජනාධිපතිතුමා අවධාරණය කළේ ය.

ජන ජීවිතය සහ මානව බලපෑම

  • මරණ සහ අතුරුදහන්වීම්: නවතම වාර්තා අනුව, මරණ සංඛ්‍යාව 355 දක්වා ඉහළ ගොස් ඇති අතර, පුද්ගලයන් 366ක් පමණ තවමත් අතුරුදහන්ව සිටී.
  • පීඩාවට පත් ජනතාව: දිස්ත්‍රික්ක 25 පුරා පවුල් 318,252 කට අයත් මිලියන 1.1 කට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇත.
  • අවතැන්වීම: පවුල් 51,228කට අයත් 180,000 කට අධික පිරිසක් රජය විසින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂිත කඳවුරුවල රැඳී සිටිති.
  • දැඩි බලපෑමක් එල්ල වූ ප්‍රදේශ: වඩාත්ම පීඩාවට පත් දිස්ත්‍රික්ක අතරට කොළඹ සහ ගම්පහ ඇතුළත් වන අතර, එහි ඒකාබද්ධව පුද්ගලයින් 437,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති. 
  • නිවාස හානි: නිවාස 20,000කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

යටිතල පහසුකම් වලට වූ හානි

  • මාර්ග සහ ගමනාගමනය: ප්‍රධාන මාර්ග 206ක් ගමනාගමනයට නුසුදුසු වී ඇති අතර, අවම වශයෙන් පාලම් 10කට හානි සිදුවී ඇත.
  • වෙනත් යටිතල පහසුකම්: දුම්රිය මාර්ග ජාලයේ කොටස් වලට සහ ජාතික විදුලිබල පද්ධතියට හානි සිදුවී ඇත. උතුරු සහ මධ්‍යම පළාත් වල සන්නිවේදන පද්ධති සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබුණි.

ආර්ථික, කෘෂිකාර්මික සහ සෞඛ්‍ය බලපෑම්

  • ආර්ථික පිරිවැය: කෘෂිකර්මය, වාරිමාර්ග ටැංකි සහ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 31ක මුදලක් අවශ්‍ය බවට වාර්තා වී ඇත. 
  • වෙළෙඳපොළ බලපෑම: ආපදාවේ සම්පූර්ණ බලපෑම පැහැදිලි වීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය (All Share Price Index) 2.53%කින් පහත වැටී තිබේ.
  • කෘෂිකාර්මික හානි: මධ්‍යම සහ උතුරු මැද පළාත්වල ප්‍රධාන මහා කන්නයේ වී වගා බිම් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවීම හේතුවෙන් අනාගතයේදී ආහාර හිඟයක් සහ මිල වැඩිවීම් ඇතිවීමේ අවදානමක් පවතී.
  • වාරි මාර්ග හානි: මිනිපේ අමුණ වැනි වාරිමාර්ග පද්ධතිවල වේලි කිහිපයකට හානි සිදුවීම වාර්තා විය. කෙසේ නමුත් බොහෝ වාරි මාර්ග පද්ධති ආරක්ෂිතව පවතින බව ද වාර්තා වේ.
  • සෞඛ්‍ය පද්ධතිය: ගංවතුර හේතුවෙන් දිස්ත්‍රික් රෝහල් කිහිපයක් ජලයෙන් යට වී ඇති අතර, රුධිර පරිත්‍යාග අඩු වීම නිසා රුධිර සංචිතවල හිඟයක් ඇති වී ඇත.