ඒ අනුව RCEP සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සහ ආරම්භක ප්‍රශ්නාවලිය සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම සඳහා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබුණි.
“මෙම ගිවිසුම යටතේ, හවුල්කරුවන් විසින් ඔවුන්ගේ තීරුබදු අනුපාතවලින් 85%ත් 90%ත් අතර ප්‍රමාණයක් සඳහා තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගත යුතු” බව කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
“ඒ අනුව ශ්‍රී ලංකාව මෙම හවුල්කාරීත්වයට එක්වීම තුළින් සිය අපනයන සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීමට මෙන්ම, කලාපීය සහ ගෝලීය සැපයුම් දාමයන්හි සිය සහභාගීත්වය ශක්තිමත් කිරීමට ද හැකි වනු ඇත.”
මොකක්ද මේ RCEP? :
ආසියාන් (ASEAN) කලාපයේ රටවල් සහ තවත් ජාතීන් පහක් සමඟ එක්වී ආරම්භ කරන ලද RCEP සංවිධානය, ආසියා-පැසිෆික් කලාපයේ රටවල් 15ක් සම්බන්ධ වන ලෝකයේ විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම (FTA) ද වේ.
මෙම ගිවිසුම 2022 ජනවාරි 01 දින සිට බලාත්මක වූ අතර, 2023 ජූලි මාසයෙන් පසු අනෙකුත් සාමාජික රටවල් ද මේ සමඟ අත්වැල් බැඳගත් හ.
RCEP හි ප්‍රධාන අරමුණ වන්නේ වෙළඳාම හා ආයෝජන ඉහළ නැංවීම සඳහා සාමාජිකයන් අතර තීරුබදු අඩු කිරීම, රේගු ක්‍රියාපටිපාටි සරල කිරීම සහ වෙළඳ නීති සමපාත කිරීම මගින් ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමයි.
ඒ අනුව ශ්‍රී ලංකාව මෙම කණ්ඩායමට එක්වීමට කැමැත්ත පළ කරමින් 2023 ජූනි 28 දින ලිපියක් ඉදිරිපත් කර ඇත.
ඉන්පසුව 2025 ඔක්තෝබර් 20 දින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ආරම්භක ප්‍රශ්නාවලියක් RCEP විසින් නිකුත් කර ඇති අතර, මෙම ප්‍රශ්නාවලිය 2026 ජනවාරි 01 දිනට පෙර සම්පූර්ණ කළ යුතුය.
මෙම ප්‍රශ්නාවලිය ඉදිරිපත් කිරීමේ අරමුණ වන්නේ,
“ගිවිසුමේ නියම කර ඇති සියලුම විධිවිධාන හා නීති සමඟ අයදුම්කරුවන්ගේ අනුකූලතාවය සහ ගිවිසුමේ සඳහන් කර ඇති අරමුණුවලට අනුකූලව වාණිජමය වශයෙන් අර්ථවත් ප්‍රවේශයක් ලබා දීමට ඔවුන්ගේ ඇති කැමැත්ත ඇගයීම සඳහා මූලික තොරතුරු රැස් කිරීමයි,”
යනුවෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී තවදුරටත් ප්‍රකාශ කර ඇත.