
ශ්‍රී ලංකාවේ අඩු අවදානම් යැයි සැලකෙන අපනයනකරුවන් සඳහා වැට් බදු (VAT) මුදල් ආපසු ගෙවීම දින කිහිපයක් ඇතුළත ආරම්භ කිරීමට නියමිත බව ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ අඩු අවදානම් යැයි සැලකෙන අපනයනකරුවන් සඳහා වැට් බදු (VAT) මුදල් ආපසු ගෙවීම දින කිහිපයක් ඇතුළත ආරම්භ කිරීමට නියමිත බව ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ සඳහා මූලික අයදුම්පත්, නොවැම්බර් මස පළමු සතිය තුළ ලැබුණු බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර්. පී. එච්. ප්‍රනාන්දු පැවසුවේ ය.
ඒ අනුව නව නීතිය යටතේ අපනයනකරුවන්, ආදාන වැට් (input VAT) බැර කිරීම් සඳහා මුදල් ආපසු ලබා දෙන ලෙස එවනු ලබන අයදුම්පත්, නොවැම්බර් මාසය වන විට සම්පූර්ණ කරනු ඇතැයි ආණ්ඩුව අපේක්ෂා කරයි.
එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම මුදල් ආපසු ලබා දීමට උපරිම දින 45ක කාලයක් ගත හැකිය. (නව බදු නීතිය යටතේ, අපනයනකරුවන් ඔවුන්ගේ අයදුම්පත ඉදිරිපත් කළ පසු, ආදාන වැට් (VAT) මුදල් සැකසීමට සහ ආපසු ගෙවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) ගත හැකි උපරිම නීතිමය කාල සීමාව දින 45ක් ලෙස දක්වා ඇත.)
කෙසේ නමුත්, පළමු අයදුම්පත් නොවැම්බර් 2-3 දිනවල දී ලැබුණු බවත්, බදු නීතිය මගින් දින 45ක් ලබා දී තිබුණද, මුදල් ආපසු ගෙවීම ඉතා ඉක්මනින් සිදු කිරීමට උත්සාහ ගන්නා බවත්, දිනක් හෝ දින දෙකක් ඇතුළත පළමු මුදල් ආපසු ගෙවීම සිදු කිරීමට හැකි වනු ඇති බවත් දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවසුවේ ය.
තවද, ශ්‍රී ලංකා බදු බලධාරීන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ මීට පෙර තිබූ අන්තර් ක්‍රියාකාරකම් සැලකිල්ලට ගෙන, බදු මුදල් ආපසු ලබා ගැනීමට හිමිකම් ඇති සමාගම් අඩු අවදානම්, මධ්‍යම සහ අධික අවදානම් ලෙස වර්ග කර ඇත.
එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්, නෆීල් අබු බකර් පැවසුවේ, අවම සහ මධ්‍යම අවදානම් සහිත අපනයනකරුවන් සඳහා දින 16ක් ඇතුළත මුදල් ආපසු ගෙවීම සිදු කරන බවයි.
තව ද, අධික අවදානම් සහිත යැයි සැලකෙන අපනයනකරුවන් සදහා ජනවාරි 15 වන දිනට පෙර මුදල් ආපසු ගෙවීම් සිදු කරන බව ද ඔහු පැවසුවේ ය.
එසේම එහි පළමු වාර්තාව දැනටමත් ලබා දී ඇති බවත්, අපනයනකරුවන් 30 දෙනෙකුට ජනවාරි 15ට පෙර වැට් බදු මුදල් ආපසු ලැබෙනු ඇති බවත් ඔහු පැවසුවේ ය.
මෙහි දී විශේෂ අපනයන මුදල් ආපසු ගෙවීමේ ශාඛා දෙකක් පිහිටුවා, ඒ සඳහා නිලධාරීන් කිහිප දෙනෙකු පත් කර තිබෙන බවට ඔහු වැඩිදුරටත් සදහන් කළේ ය.
අතීතයේදී ශ්‍රී ලංකාවේ වැට් බදු මුදල් ආපසු ඉල්ලා සිටීමේ ක්‍රියාවලිය සරල කිරීමේ අරමුණින්, SVAT ක්‍රමය භාවිත විය. නමුත් එම ක්‍රමය නතර කිරීමට ප්‍රධාන හේතු දෙකක් බලපෑවේ ය.
නමුත්, වර්තමානයේ ක්‍රියාත්මක වන එකතු කළ අගය මත බදු (VAT) ක්‍රමය යටතේ, අපනයන සඳහා පනවන බදු ශුන්‍ය ලෙස සලකනු ලැබේ.
එම නිසා, සමාගම්වලට තම සැපයුම්කරුවන්ට ගෙවූ ආදාන බදු (Input Tax) මුදල් නැවත ලබා ගැනීම සඳහා නීත්‍යානුකූලව ඉල්ලීම් කළ හැකිය.
කෙසේ වෙතත්, නැගෙනහිර ආසියානු රටවල මෙන්, ශ්‍රී ලංකාවේ ද නිදහස් කලාප තුළ කෙරෙන සැපයුම්වලට ශුන්‍ය බදු අනුපාතයක් හිමි වේ.
එබැවින් මේ මොහොතේ, අපනයනකරුවන්ට ඔවුන් ආනයනය කරන ආදාන (Inputs) සඳහා බදු ගෙවීමකින් තොරව ඒවා ගෙන්වා ගැනීමට අවසර ඇත.