ආර්ථික
ඉන්දු – ශ්‍රී ලංකා සංචාරක සහයෝගීතාවය අලුත් වෙයි!
image for ඉන්දු – ශ්‍රී ලංකා සංචාරක සහයෝගීතාවය අලුත් වෙයි!

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “ගංගා සිට කැලණි දක්වා: මිත්‍රත්වයේ සහ සොයාගැනීමේ ගමනක්” (From the Ganges to the Kelani: A Voyage of Friendship and Discovery) යන තේමාව යටතේ පැවති ‘ඉන්දියා – ශ්‍රී ලංකා සංචාරක සම්බන්ධතා’ (India–Sri Lanka Tourism Connect) සමුළුව, 2025 නොවැම්බර් මස 25 වන දින කොළඹදී පැවැත්වුණි.

මෙම අවස්ථාවට එක්වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ, පොදු ඉතිහාසය, සංස්කෘතිය සහ දිගුකාලීන ජනතා සම්බන්ධතා වලින් බැඳුණු මෙම රටවල් දෙක සංචාරක කර්මාන්තයේ ස්වභාවික හවුල්කරුවන් බවයි. 

තවද, ශ්‍රී ලංකාවේ සංචාරක ඉලක්ක සපුරා ගැනීම සඳහා රජය ප්‍රධාන වශයෙන්, 

  • තිරසාරත්වය තහවුරු කිරීම
  • සංචාරක වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම
  • ගුවන් හා මුහුදු මාර්ග වැඩි දියුණු කරමින් සම්බන්ධතාව ශක්තිමත් කිරීම
  • සමස්ත සංචාරක අංශයම ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවට අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

සමුළුවට එක්වූ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ප්‍රකාශ කළේ සංචාරක ව්‍යාපාරය, දෙරට සමීප කරන ප්‍රබලතම ස්වාභාවික බැම්ම බවයි.

එහිදී ඔහු පෙන්වා දුන් පරිදි, ඉන්දියාවේ සංචාරක අංශය මේ වන විට “විශිෂ්ඨ පරිවර්තනයකට” ලක්වෙමින් පවතී. ඊට සාධක ලෙස ඔහු පෙන්නුම් කළේ,

  • සංචාරක ව්‍යාපාරය ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 5% ක පමණ දායකත්වයක් සැපයීම
  • ඉන්දියාවේ ගුවන් තොටුපළවල් 115 කට වැඩි ප්‍රමාණයක්, අධිවේගී මාර්ග සහ වැඩි දියුණු කළ දුම්රිය ජාල මඟින් සංචාරය වඩාත් වේගවත් හා පහසු කිරීමට පියවර ගැනීම.
  • ශ්‍රී ලාංකිකයන් ඇතුළුව ජාතීන් 167 ක් සඳහා ඉන්දියාව සිය ඊ-වීසා ක්‍රමය හදුන්වා දී තිබීම

තවදුරටත් අවධානය “ඉන්දියාව දැකීමෙන් ඉන්දියාව දැනීම දක්වා මාරු වී ඇත,” යනුවෙන් ජා මහතා පැවසුවේ ‘Incredible India’ ව්‍යාපාරය අත්දැකීම් මත පදනම් වූ ජාතික සන්නාමයක් දක්වා පරිණාමය වීම ඉස්මතු කරමිනි.

එසේම ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවට කලාපය තුළ “සුවිශේෂී තරඟකාරී වාසියක්” ඇති බවයි. 

එයට හේතු ලෙස ඔහු සදහන් කළේ දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ අත්දැකීම් ලබා දීම සහ පැය කිහිපයක් ඇතුළත වෙරළ තීරයේ සිට උස්බිම් දක්වා අසමසම විවිධත්වයක් ලබා දීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු වීමයි.

එබැවින්, ඉන්දියාව හෝටල් සහ විවේක පහසුකම් ඇතුළු ශ්‍රී ලංකාවේ සංචාරක යටිතල පහසුකම් සඳහා ආයෝජන ක්‍රියාකාරීව දිරිමත් කරන බව ඔහු පෙන්වා දුන්නේය. Taj සහ ITC වැනි ප්‍රමුඛ ඉන්දීය ආගන්තුක සත්කාර සන්නාම දැනටමත් දිවයිනට පැමිණීම එහි ආරම්භයයි.

එමෙන්ම අනුරාධපුරයේ සිංහල-බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීම, නුවරඑළියේ සීතා අම්මාන් කෝවිල සංවර්ධනය කිරීම සහ ත්‍රිකුණාමලයේ තිරුකෝනේෂ්වරම් කෝවිල වැඩිදියුණු කිරීම වැනි, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ 2025 අප්‍රේල් රාජ්‍ය සංචාරය අතරතුර නිවේදනය කරන ලද නව මුලපිරීම් ද ජා මහතා ඉස්මතු කළේය.

දෙරට උද්යෝගිමත් සන්ධිස්ථානයක් වෙත ගමන් කරන මේ මොහොතේ, ඉන්දියාවේ පරිමාණය, නවෝත්පාදනය සහ තාක්ෂණය ශ්‍රී ලංකාවේ ආකර්ෂණය, ආගන්තුක සත්කාරය සහ පොහොසත් උරුමය සමඟ ඒකාබද්ධ කිරීමෙන් කලාපීය සංචාරක සහයෝගීතාව සඳහා ගෝලීය ආදර්ශයක් නිර්මාණය කරනු ඇතැයි මහ කොමසාරිස්වරයා විශ්වාසය පළ කළේය.

“අපි මේ ගමන ගංගා සිට කැලණි දක්වා, අසල්වාසීන් ලෙස පමණක් නොව, සොයාගැනීම්, තිරසාරත්වය, සමෘද්ධිය සහ හවුල් සංවර්ධනය සඳහා හවුල්කරුවන් ලෙස ඉදිරියට ගෙන යමු,” ජා මහතා පැවසීය.