
ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (National Medicines Regulatory Authority – NMRA) විසින් තෝරාගත් පිළිකා ඖෂධ කිහිපයක් ඇතුළු ඖෂධ වර්ග 350ක් සඳහා උපරිම සිල්ලර මිලක් වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (National Medicines Regulatory Authority – NMRA) විසින් තෝරාගත් පිළිකා ඖෂධ කිහිපයක් ඇතුළු ඖෂධ වර්ග 350ක් සඳහා උපරිම සිල්ලර මිලක් වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව මෙකී ඖෂධ අතරට අධි රුධිර පීඩනයට, පණු රෝග සඳහා මෙන්ම අපස්මාරය වැනි දීර්ඝ කාලීන රෝග සඳහා භාවිත කරන පොදු ඖෂධ ද ඇතුළත් වේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ, “ඖෂධ මිල අධික නිසා ඇතැම් රෝගීන් නියමිත මාත්‍රාවට අනුව ඖෂධ ලබා ගන්නේ නැහැ; උදාහරණයක් ලෙස සතියකට නියම කර ඇති ඖෂධය රෝගීන් විසින් ලබා ගන්නේ දින 3ක් සඳහා පමණයි,” යනුවෙනි.
“සාධාරණ මිලක් සහතික කිරීමෙන්, ජනතාව නිසි පරිදි ඖෂධ ලබා ගෙන යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම අපගේ අරමුණයි.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඖෂධවල උපරිම සිල්ලර මිල ගණන් : ඇස්ප්‍රින් (Aspirin) පෙත්තක උපරිම සිල්ලර මිල දැන් රුපියල් 5.85ක් වන අතර, තොග වශයෙන් මිලදී ගැනීමේදී පෙත්තක් රුපියල් 4.50ක් ලෙස සටහන් වේ.
පිළිකා ඖෂධයක් වන පැක්ලිටැක්සල් (Paclitaxel) කුප්පියක උපරිම සිල්ලර මිල රුපියල් 42,000 සිට රුපියල් 26,332.29 දක්වා අඩු කර ඇති බව වෛද්‍ය විජේවික්‍රම පැවසුවේ ය.
ආඝාතයේ අංශභාග බලපෑම් වැළැක්වීම සඳහා ලබා දෙන නිමොඩිපයින් (Nimodipine) ඖෂධයේ උපරිම සිල්ලර මිල පෙරදී රුපියල් 6,348ක් වූ අතර එය දැන් රුපියල් 4,100ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ටෙග්‍රෙටෝල් (Tegretol) යන වෙළඳ නාමය යටතේ ඇති අපස්මාරය සඳහා වන කාබමසපයින් (carbamazepine) ඖෂධයේ මිල රුපියල් 58.32 සිට රුපියල් 47.46 දක්වා අඩු කර ඇත.
දිවයින පුරා පිහිටි ෆාමසි මගින් මෙසේ අඩු කරන ලද ඖෂධයන්හි මිල ගණන් ලැයිස්තුවක් ලෙස ප්‍රදර්ශනය කළ යුතු බව වෛද්‍ය විජේවික්‍රම තවදුරටත් සඳහන් කළේ ය.
ඒ අනුව අනුමත උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට මෙකී ඖෂධ අලෙවි කරන ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් පිළිබඳව [email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේ දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් නිලධාරීන් ඉල්ලා සිටී.