ආර්ථික
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300ක්!
image for ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300ක්!

ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඇමරිකානු ඩොලර් මිලියන 300ක ණයක් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

මේ අනුව එයින් ඩොලර් මිලියන 270ක් ප්‍රතිපත්ති පාදක හෝ ‘අයවැය සහාය’ ණය ලෙස සඳහන් වේ.

එකී ණය වලින් ඩොලර් මිලියන 100ක්, බැංකු අංශයේ පාලනය ශක්තිමත් කිරීම පිළිබඳ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග 11ක් සම්පූර්ණ කිරීමෙන් පසු, ADB හි සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් කවුළුව හරහා, මූල්‍ය අංශ ස්ථායීතා හා ප්‍රතිසංස්කරණ වැඩසටහන (අනු වැඩසටහන 3) යටතේ ප්‍රතිපත්ති පාදක ණය ලෙස ලැබී ඇති බවට මුදල් අමාත්‍යාංශය පවසයි.

තවත් ඩොලර් මිලියන 100ක්, පොදු මූල්‍ය කළමනාකරණය ඉලක්ක කරගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග 11ක් සම්පූර්ණ කිරීමෙන් පසු, සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ, සාර්ව ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සහ විනිවිදභාවය ශක්තිමත් කිරීමේ වැඩසටහන (අනු වැඩසටහන 1) හරහා ලැබී තිබේ.

අනෙක් ඩොලර් මිලියන 100, තිරසාර සංචාරක ක්ෂේත්‍ර සංවර්ධන වැඩසටහන (අනු වැඩසටහන 1) යටතේ ලැබීමට නියමිත අතර, එයින් ඩොලර් මිලියන 30ක් ආයෝජන අංගයක් ලෙස භවිත කිරීමට නියමිතය.

ADBහි සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ ලැබෙන මෙම ඩොලර් මිලියන 30 ත්‍රිකුණාමලය සහ දඹුල්ල (සීගිරිය ප්‍රදේශය ද ඇතුළුව) ගමනාන්තවල සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට භාවිත කෙරේ.

මෙහිදී ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය ආයෝජන කටයුතු සඳහා ක්‍රියාකාරී නියෝජිත ආයතනය (Executing Agency) සහ ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතනය (Implementing Agency) ලෙස කටයුතු කරයි.

ආයෝජන අංගයක් නොමැති ප්‍රතිපත්ති පාදක ණය හෙවත් අයවැය සහාය ණය, දේශීය වියදම් සඳහා භාවිත නොවන අතර, එම ඩොලර් මහ බැංකුවට විකුණා නව මුදල් නිර්මාණය නොකරන තාක් කල්, ණය ආපසු ගෙවීම ඇතුළු ඕනෑම කටයුත්තක් සඳහා හෝ අනාගත ණය සේවා සැපයීම සඳහා මූල්‍ය සංචිතයක් ලෙස තබා ගැනීමට අපේක්ෂා කරයි.

මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට ඩොලර් මිලියන 30 ලබා දීම සඳහා බදු හෝ ණය මගින් රුපියල් රැස් කර ගත හැකි නම්, එම ඩොලර් මිලියන 30 ද ණය ආපසු ගෙවීම සඳහා භාවිත කළ හැකිය.

කෙසේ වෙතත්, ඉදිකිරීම් කටයුතු සදහා වෙන වෙනම මාර්ග තාර, වානේ, සිමෙන්ති හෝ ඉන්ධන වැනි ද්‍රව්‍ය ආනයන ක්‍රියාත්මක කරනු ඇත.

මෙම ගිවිසුම් සඳහා මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම සහ ADB ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ අධ්‍යක්ෂ ටකාෆුමි කඩෝනෝ අත්සන් තබන ලදී.