ආර්ථික
ශ්‍රී ලංකාවේ කුකුළු මස් සඳහා ඉල්ලුම ඉහළට; බිත්තර මිල පහළට!
image for ශ්‍රී ලංකාවේ කුකුළු මස් සඳහා ඉල්ලුම ඉහළට; බිත්තර මිල පහළට!

මේ දිනවල සැකසූ කුකුළු මස් සඳහා දැඩි ඉල්ලුමක් දක්නට ලැබීම හේතුවෙන් බ්‍රොයිලර් පැටවුන්ගේ (Broiler Day-Old Chicks) මිල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ කුකුළු ව්‍යාපාර සමූහයක් පවසයි.

මේ අනුව බිත්තර මිල පහත වැටීම හේතුවෙන් ලේයර් පැටවුන් (Layer Chicks) මිල දී ගැනීම අඩු වී ඇති බව ශ්‍රී ලංකාවේ සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් (Ceylon Grain Elevators) සමූහ ව්‍යාපාරයේ ඒකකයක් වන ත්‍රී ඒකර් ෆාම්ස් (Three Acre Farms – TAFL) තවදුරටත් සඳහන් කළේ ය.

“පසුගිය කාර්තුව තුළ ප්‍රධාන වශයෙන් අපගේ ආයතනය ඉහළ ආදායමක් වාර්තා කිරීමට හේතුව බ්‍රොයිලර් දින වයසැති පැටවුන් (DOCs) හා සැකසූ කුකුළු මස් සඳහා වූ ඉල්ලුමයි,” යනුවෙන් එම සමාගම පවසා ඇත.

එපමණක් නොව, සංචාරක කර්මාන්තයේ වර්ධනය ද කුකුළු මස් සඳහා වූ ඉල්ලුම ඉහළ නැංවීමට හේතු වී ඇතැයි ත්‍රී ඒකර් ෆාම්ස් සමාගම පවසයි.

බඩඉරිඟු මාෆියාවක් : බඩඉරිඟු ආනයනය පාලනය කරන මුවාවෙන් “බඩඉරිඟු මාෆියාවක්” සිදුකිරීම, තම කර්මාන්තයට දැරිය නොහැකි බරක් වී ඇති බව ත්‍රී ඒකර් ෆාම්ස් සමාගම තවදුරටත් සඳහන් කරයි.

ඒ අනුව රට ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් පනවා ඇති මෙම සීමා කිරීම් හේතුවෙන්, කුකුළු ගොවිපොළවල්වලට තම සතුන් සඳහා අවශ්‍ය ගුණාත්මක තත්ත්වයෙන් යුතු පෝෂණය ලබා දීමට නොහැකි වී ඇති බව එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

දේශීයව නිෂ්පාදනය කෙරෙන බඩඉරිඟුවල පෝෂණ ගුණය අඩු නිසා කුකුළන්ගේ වර්ධනය හා සෞඛ්‍ය තත්ත්වය දුර්වල වන බව කර්මාන්තයේ නියුතු පාර්ශවයන්ගේ අදහසයි.

ඒ අනුව විචාරකයන් පෙන්වා දෙන්නේ, මෙනිසා මෙරට දරුවන්ගේ ප්‍රෝටීන් ඌනතාවය (Protein Malnutrition) වැඩිවන බවයි. 

එහෙයින්, මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීම හරහා මෙරට ජනතාවට ගුණාත්මක පශු ආහාර මිලදී ගැනීමේ හැකියාව ලැබෙන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මූල්‍ය දත්ත : 

  • සිලෝන් ග්‍රේන් එලිවේටර්ස්හි ආදායම 22%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 7.3ක් විය.
  • විකුණුම් පිරිවැය 7%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 5.56ක් විය.
  • දළ ලාභය 112%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1.76ක් විය.
  • ශුද්ධ ලාභය වසරකට පෙර පැවති රුපියල් මිලියන 515 සිට රුපියල් මිලියන 936 දක්වා ඉහළ ගිය අතර, එය කොටසකට ආදායම රුපියල් 15.60ක් ලෙසින් වාර්තා විය.