ආර්ථික
ශ්‍රී ලංකා අයවැය IMFහි විමර්ශනයට!
image for ශ්‍රී ලංකා අයවැය IMFහි විමර්ශනයට!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවේ 2026 අයවැය ලේඛනය මේ වන විට විමර්ශනය කරමින් සිටින බවට වාර්තා වේ.

මෙම විමර්ශනය වනාහී දිර්ඝ කාලීන අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ පස්වන සමාලෝචනය සඳහා අවශ්‍ය ක්‍රියාවලියක් බව වාර්තා වේ.

ඒ අනුව IMFහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසාක් (Julie Kozack) තහවුරු කළේ, ශ්‍රී ලංකාවේ 2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි තක්සේරු කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය විසින් අයවැය ලේඛන සමාලෝචනයක් සිදු කරමින් සිටින බවයි.

ඉදිරි සති කිහිපය තුළ මෙම තක්සේරුව පිළිබඳ විධායක මණ්ඩලය විසින් සාකච්ඡා කරනු ලබන අතර,  ඔවුන් විසින් මෙය අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ඇ. ඩො. මිලියන 347ක මූල්‍ය ආධාරයක් ලැබෙනු ඇත.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ 2026 අයවැය ලේඛනය මූල්‍යමය වශයෙන් විචක්ෂණශීලී සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය පවත්වා ගෙන යන්නක් ලෙස පුළුල් ලෙස IMF ඇගයීමට ලක්ව ඇත. 

ඒ අනුව ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය ද පෙන්වා දී ඇත්තේ එය රටේ මූල්‍ය ප්‍රතිසංස්කරණ මාවතේම පවතින බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ විභව වර්ධනය වැඩි කිරීම සඳහා මෙරටට ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍ය බව IMF අවධාරණය කළේ ය. 

මේ අනුව ජූලි කොසාක් විසින් විශේෂයෙන් අවධාරණය කළ කරුණු කිහිපයක් :

  • නිදහස් වෙළඳාම සහ ඊට අදාළ ප්‍රතිසංස්කරණ.
  • සෘජු විදේශ ආයෝජන (FDI) හා සරල කිරීම සහ සම්බන්ධ නීති වැඩිදියුණු කිරීම.
  • ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම.
  • අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ පද්ධතියක් පවත්වාගෙන යාම.

ඊට අමතරව, අතීතයේ පැවති මුදල් ප්‍රතිපත්ති ගැටලු හේතුවෙන් ඇති වූ වර්ධන බාධක සහ දැනටමත් ක්‍රියාත්මක වන SVAT (සරල කළ එකතු කළ අගය මත බදු) ඉවත් කිරීම දේශීය අපනයනකරුවන්ට අවාසියක් විය හැකි ආකාරය පිළිබඳව ද විශ්ලේෂකයින් තම අදහස් දක්වා ඇත.