ආර්ථික
අනවශ්‍ය රාජ්‍ය සේවක කප්පාදුව තවදුරටත් !
image for අනවශ්‍ය රාජ්‍ය සේවක කප්පාදුව තවදුරටත් !

මෙරට රාජ්‍ය අංශයේ අනවශ්‍ය සේවක සංඛ්‍යාව කප්පාදු කිරීමේ සහ රාජ්‍ය සේවකයන්ට නවීන තාක්‍ෂණය හඳුන්වාදීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැරසෙන බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පැවසුවේ ය.

සේවක කප්පාදුවක් : ඒ අනුව 2026 අයවැයේ සඳහන් කරන ලද නව බඳවා ගැනීම් 75,000 ප්‍රධාන වශයෙන් ඉහළ නිපුණතා ශ්‍රේණි සඳහා වන බවත්, ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාණය ඉක්මවා ගිය රාජ්‍ය සේවක සංඛ්‍යාව නැවත අවශ්‍ය ප්‍රමාණයට ගෙන ඒමට රජය කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

“අතීතයේදී, පෙර ආණ්ඩු තමන්ට ඡන්දය දුන් පුද්ගලයන්ට රැකියා ලබා දීමට අවශ්‍ය වූ නිසා, රාජ්‍ය අංශයේ පතුලේම සිටිය යුතු නිලධාරීන්ගේ සංඛ්‍යාව අධික ලෙස ඉහළ ගියා” යැයි චතුරංග අබේසිංහ පැවසුවේ ය. 

කෙසේ වෙතත් 2026 අයවැය යටතේ බදවා ගැනීමට නියමිත රාජ්‍ය සේවක පිරිස හෙදියන්, ගුරුවරුන්, ඉංජිනේරුවන් වැනි රටට අත්‍යාවශ්‍ය විශේෂිත කුසලතා අංශ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඒ අනුව වත්මන් ආණ්ඩුවේ සැලැස්ම වන්නේ එක්වරම සිදුකරන විශාල ප්‍රමාණයේ සේවක අඩු කිරීම් වෙනුවට, වසර 3 – 5ක කාලයක් තුළ රාජ්‍ය ආයතනවලට නව තාක්‍ෂණික වැඩපිළිවෙළක් හඳුන්වාදීම තුළින් කාර්ය මණ්ඩලය ස්වභාවිකවම අඩු කිරීමයි.

මේ අතර, උපාධිධාරී සංවර්ධන නිලධාරීන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් රාජ්‍ය ආයතනවල අනවශ්‍ය ලෙස තබාගෙන සිටීම බරපතල ප්‍රශ්නයක් බව ද වාර්තා වේ.

කර්මාන්ත පුහුණුවක් : එපමණක් නොව දීර්ඝ සේවයකින් පසු විශ්‍රාම ගන්නා හමුදා සේවකයින් දහස් ගණනක් සඳහා නව ජීවනෝපාය මාර්ග නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරමින් සිටී.

මෙයට හේතු වී ඇත්තේ, යුධ සමයේදී (2006 – 2009) බඳවා ගත් හමුදා සේවකයන්ගෙන් බහුතරයක් සිය වසර 20ක සේවා කාලය සම්පූර්ණ කරමින් සිටින බැවින්, ඉදිරි කාලයේදී විශාල පිරිසක් හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීමට නියමිත වීමයි.

ඒ අනුව මෙම වැඩසටහන පිළිබඳ තම අදහස් දක්වමින් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම විශාල ශ්‍රම බලකාය නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා ඔවුන්ට නව කුසලතා පුහුණු කර කර්මාන්ත අංශයට හෝ ව්‍යවසායකත්වයට සාර්ථකව ඒකාබද්ධ කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවයි.

මෙම වැඩසටහනේ අරමුණ නම් හමුදා විශ්‍රාමිකයන් යළි සමාජගත කිරීම සහ ඔවුන්ගේ නිපුණතා රටේ ආර්ථිකයට යොදවා ගැනීමයි.