
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන සිටි BYD විද්‍යුත් වාහන තොගයක් බැංකු ඇප සහ ආයතනික ඇප (Corporate Guarantees) මත මුදා හැරීමට අධිකරණයේදී එකඟතාවය පළ කර තිබේ.

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන සිටි BYD විද්‍යුත් වාහන තොගයක් බැංකු ඇප සහ ආයතනික ඇප (Corporate Guarantees) මත මුදා හැරීමට අධිකරණයේදී එකඟතාවය පළ කර තිබේ.
මෙම වාහනවල වගකිව යුතු ශ්‍රී ලංකාවේ නියෝජිත සමාගම වන JKCG Auto (John Keells CG Auto) සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන් කර ඇත.
රදවා තබාගත් වාහන : BYD ATTO 1 සහ BYD ATTO 2 ඇතුළු වාහන 631ක් අඩංගු මෙම තොගය, විද්‍යුත් වාහනවල මෝටර් ධාරිතාව (Motor Capacity) සම්බන්ධයෙන් මතුවූ බදු ගැටලුවක් මත රේගුව විසින් රඳවා තබාගෙන තිබුණි.
මෙම තීරණය හේතුවෙන් තම පාරිභෝගිකයින්ට සිදුවූ අපහසුතාවය සැලකිල්ලට ගනිමින්, JKCG සමාගම විසින් රේගුවට අය කළ හැකි අතිරේක බදු වෙනස වෙනුවෙන් ආයතනික සහ බැංකු ඇප ලබා දීමට පෙර ඉදිරිපත් කළ විසඳුම, නොවැම්බර් 11වන දින අධිකරණයේදී රේගුව විසින් පිළිගන්නා ලදී.
JKCG සමාගම වැඩිදුරටත් කියා සිටින්නේ, වාහන නිෂ්කාශනය සඳහා ගෝලීය වශයෙන් පිළිගත් සම්මතය වන්නේ නිෂ්පාදකයාගේ සහතිකපත් බවයි.
ඒ අනුව අවශ්‍ය ඕනෑම සත්‍යාපනයකදී නිරවද්‍යතාවය සහ විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් මෝටර්රථ රසායනාගාරයකදී පරික්ෂා කළ යුතු බව ද ඔවුහු අවධාරණය කරති.
වාහන මුදා හැරීමට තාවකාලික විසඳුමක් ලැබී ඇතත්, මෝටර් ධාරිතාව පිළිබඳ මූලික තාක්ෂණික ගැටලුව තවදුරටත් නොවිසඳී පවතී.
දිගුකාලීන විසඳුමක් : ඒ අනුව ගැටලුවට කඩිනම් හා ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා, JKCG සමාගම මීට පෙර අධිකරණයට ප්‍රකාශ කර තිබුණේ අදාළ වාහනවල මෝටර් බලය පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව ඉල්ලා සිටි අවශ්‍ය තාක්ෂණික උපකරණ සැපයීමට තමන් කැමැත්තෙන් සිටින බවයි.
ඒ අනුව, රේගුවේ ඉල්ලීම පරිදි නොවැම්බර් 6වන දින වාහනවල මෝටර් බලය පරීක්ෂා කිරීම සඳහා විශේෂිත වාහන රෝග විනිශ්චය සේවාවක් (VDS) සූදානම් කර තිබුණද, රේගුව විසින් එම දිනයේදී කිසිදු පරීක්ෂණයක් සිදු නොකළ බව JKCG සමාගම සඳහන් කරයි.
ඒ අනුව අද (12) දිනයේදී මෙම පරීක්ෂණ සම්බන්ධයෙන් ඉදිරි පියවර රේගුව විසින් අධිකරණයට දැනුම් දීමට නියමිතය.
කෙසේ වුවත්, රේගුව විසින් රඳවාගත් වාහන මුදා හැර පාරිභෝගිකයින් වෙත ලබාදීම සිය වගකීමක් වුවද, JKCG සමාගම බලධාරීන් සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් මෙම මූලික තාක්ෂණික ගැටලුවට දිගුකාලීන හා සාධාරණ විසඳුමක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද නිවේදනයේ තවදුරටත් සඳහන් කර ඇත.