කාලීන
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර සහයෝගීතාව ශක්තිමත් කෙරේ!
image for ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර සහයෝගීතාව ශක්තිමත් කෙරේ!

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙලක් ලෙස, විදේශ කාර්යාල උපදේශනයන්හි (Foreign Office Consultations – FOC) සිව්වන වටය ඊයේ (06) කොළඹ දී පැවැත්වුණි.

එහිදී දෙරට අතර පවතින සමුද්‍රීය සම්බන්ධතාව, වෙළඳාම සහ හරිත සංචාරක ක්‍ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට එකඟ වී ඇත.

ඒ අනුව වසර අටකට පසුව පැවති මෙම රැස්වීමට දෙරටෙහි විදේශ ලේකම්වරු සම සභාපතිත්වය දැරූ අතර, වෙළඳාම, ආයෝජන, කෘෂිකර්මය, අධ්‍යාපනය, ඩිජිටල් ආර්ථිකය, ආරක්ෂක කටයුතු හා සංචාරක කර්මාන්තය ඇතුළු පුළුල් පරාසයකට විහිඳී ගිය ක්ෂේත්‍ර ගැටලු සාකච්ඡාවට ලක් විය.

මෙහිදී දෙරට අතර ප්‍රධාන එකඟතාවන් කිහිපයක් ඇතිවිය.

  • වරාය සම්බන්ධතාව: සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වූයේ කොළඹ සහ චිතොග්‍රම් (Chattogram) අතර සෘජු වරාය සම්බන්ධතාවක් ස්ථාපිත කිරීමේ යෝජනාවට වන අතර, එමඟින් නැව්ගත කිරීමේ පිරිවැය අඩු කර කලාපීය සැපයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
  • ආර්ථික සහයෝගීතාව: ආර්ථික කටයුතු සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය වැඩි කිරීම සඳහා බාධාවක් වූ නීතිමය තත්වයන් ලිහිල් කිරීමට පියවර ගැනීමට දෙපාර්ශ්වයම එකඟ විය.
  • හරිත සංචාරක කර්මාන්තය: ශ්‍රී ලංකාවේ නව සංචාරක සංවර්ධන උපායමාර්ගයන් යටතේ දෙරට අතර හරිත සංචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කළේය. ඒ අනුව බංගලාදේශය මෙම අදහස පිළිගත් අතර, සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් කඩිනමින් අත්සන් කිරීමට ද කැමැත්ත පළ කළේ ය. 

ආයෝජන සහ මූල්‍ය සහයෝගීතාව : එපමණක් නොව, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්, සැපයුම් සහ සංචාරක ව්‍යාපෘතිවල කොටස්කරුවන් වීමට බංගලාදේශ ආයෝජකයින්ට ආරාධනා කරන ලදී.

ඒ අනුව මීට ප්‍රතිචාර වශයෙන්, ඖෂධ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), පුනර්ජනනීය බලශක්තිය සහ කෘෂි සැකසුම් වැනි ඉහළ විභවයක් ඇති අංශවල අපනයන සැකසුම් කලාප (EPZs), විශේෂ ආර්ථික කලාප (SEZs) සහ කාර්මික උද්‍යාන සඳහා ශ්‍රී ලංකා ආයෝජන දිරිමත් කිරීමට කැමැත්ත පළ කරන ලදී.

තවද, 2022 වසරේදී මෙරට පැවති ආර්ථික අර්බුදයේදී බංගලාදේශයෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය ආධාරය පිළිබඳව ද මෙහිදී සිහිපත් කර අගය කරනු ලැබී ය.

එමෙන්ම බංගලාදේශයේ ඖෂධ නිෂ්පාදන මෙරට ලියාපදිංචි කිරීම විධිමත් කරන ලෙස බංගලාද්ශය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාව, බංගලාදේශ හෙදියන් සඳහා වන පුහුණු අවස්ථා පුළුල් කිරීමට ඉදිරිපත් විය.

ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව : මීට අමතරව ධීවර, කෘෂිකර්ම, තරුණ කටයුතු, අධ්‍යාපන සහ සෞඛ්‍ය යන අංශ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී.

බංගලාදේශය, ශ්‍රී ලංකාවේ ගොවීන්ට සුහද සංචාර සඳහා තම රටට ආරාධනා කළ අතර, ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ශ්‍රි ලංකාවේ තාක්ෂණික සහාය ද ඉල්ලා සිටියේ ය.

ඒ අනුව දෙරට අතර ඩිජිටල් නවෝත්පාදන හවුල්කාරිත්වය ඉහළ නැංවීම සඳහා බංගලාදේශ – ශ්‍රී ලංකා තාක්ෂණික කොරිඩෝවක් (Bangladesh–Sri Lanka Tech Corridor) ස්ථාපිත කිරීමට බංගලාදේශය යෝජනා කරන ලදී.

එපමණක් නොව, සාර්ක් (SAARC), බිම්ස්ටෙක් (BIMSTEC) සහ අයෝරා (IORA) වැනි කලාපීය සංවිධාන හරහා දෙරට ම තම කැපවීම නැවත නැවතත් තහවුරු කළ අතර, රොහින්ජ්‍යා සරණාගතයින් ආරක්ෂිතව සහ ගෞරවාන්විතව නැවත රට තුළ පදිංචි කරවීම සඳහා ශ්‍රී ලංකාවේ සහාය බංගලාදේශය විසින් ඉල්ලා සිටියේ ය.