ආර්ථික
තවත් සේවකයින් 60,000ක් රාජ්‍ය සේවයට?
image for තවත් සේවකයින් 60,000ක් රාජ්‍ය සේවයට?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයන්හි පවතින පුරප්පාඩු පිරවීම සඳහා රාජ්‍ය සේවකයින් 60,000ක් බඳවා ගැනීමට ආණ්ඩුව සැලසුම් කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කර තිබේ.

ඒ, මෙම වසරේ රාජ්‍ය සේවකයින් 30,000ක් බඳවා ගැනීම සඳහා බදු මුදල් වෙන් කිරීමෙන් පසුව වීම ද විශේෂත්වයකි. 

ඒ අනුව Newsfirst නාලිකාව වෙත ඔහු තම අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ඉංජිනේරු සේවයේ, සැලසුම් සේවයේ සහ ගණකාධිකාරී සේවයේ තනතුරු පිරවීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බවයි. 

ඒ අනුව කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද උප කමිටුවක නිර්දේශ මත, මෙම වසරේ මාර්තු මාසයේ පැවති තරග විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් අපේක්ෂකයින් 226දෙනෙකු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට බඳවා ගන්නා බවට ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, මේ සතිය මුලදී තවත් රාජ්‍ය සේවකයින් 8,547ක් බඳවා ගැනීමට ද කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 

අර්බුදයක පෙරනිමිති? : දත්ත වාර්තාවලට අනුව, අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් සමඟ රාජ්‍ය සේවකයින් මිලියන 1.5ක් පමණ වන විශාල පරිමාණයේ රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව සතුව පවතී.

ඒ අනුව දිනෙන් දින ඉහළ යන රටේ වයස්ගත ජනගහනය හමුවේ මෙකී රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා පුද්ගලික අංශයේ පුරවැසියන් වෙත වැඩි බදු බරක් පැවරෙනු ඇත.එපමණක් නොව මධ්‍යම රජයේ සේවකයින්ට ද ජීවිත කාලය පුරාවට විශ්‍රාම වැටුප් ලැබෙන අතර ඒවා සෑම වසරකම මහජනතාවගෙන් එකතු කරන බදු මුදලින් ගෙවනු ලැබේ.

ඒ අනුව දැනටමත් විශාල වී ඇති රාජ්‍ය සේවයට සහාය වීම සඳහා මෙරට නිෂ්පාදන උත්පාදනය කිරීමට සහ මැද පෙරදිග රටවල සේවය කිරීමට හැකියාව ඇති කාන්තා සේවිකාවන් වැඩි ප්‍රමාණයක් පුද්ගලික අංශයේ ශ්‍රම බලකායට යොමු කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

කෙසේ වුවත්, මෙරට පැවති ආර්ථික උද්ධමනය නිසා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන්, මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයින්ට ස්ථාවර විනිමය අනුපාත පවතින හෝ අඩු උද්ධමනයක් සහිත රටවල සේවය කිරීම සඳහා රට හැර යාමට සිදුවී ඇත. 

තවත් බදු : පසුගිය පාලන කාලවලදී මෙන් අත්තනෝමතික ලෙස රාජ්‍ය සේවකයින් බඳවා ගැනීම වත්මන් පරිපාලනය විසින් සිදු නොකරන බවත්, ඔවුන් සැබෑ ‘පුරප්පාඩු’ සොයා බලන බවක් පෙනෙන්නට තිබේ.

කෙසේ වුවත්, වයස්ගතවන ජනගහනයක් සමඟ රාජ්‍ය සේවයට සහාය වීමට තරුණ පරම්පරාවට අපහසු වනු ඇති බව සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව රාජ්‍ය ආයතන ක්‍රියා කරන ආකාරය සමාලෝචනය කළ යුතු බව විශ්ලේෂකයින්ගේ මතයයි. 

එපමණක් නොව, ලොව අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ වාහන බදු අතිශයින් ඉහළ මට්ටමක පවතින අතර, ගොඩනැගිලි ද්‍රව්‍ය මත පනවා ඇති ආනයන බදු හේතුවෙන් නිවාසවල මිල ද අතිශයින් ඉහළ ගොස් ඇත. 

ඒ අනුව ආණ්ඩුවට තවත් බදු මුදල් ලබා ගැනීම සඳහා තවත් නිවාස බදු පැනවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇති සමයක මෙම බඳවා ගැනීම් සිදුවෙමින් පවතී.