ආර්ථික
ශ්‍රී ලංකන් අලාභය ඉහළට: රාජ්‍ය කළමනාකරණයට චෝදනා
image for ශ්‍රී ලංකන් අලාභය ඉහළට: රාජ්‍ය කළමනාකරණයට චෝදනා

2025 වසරේ අප්‍රේල් – ජූනි කාර්තුව තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සමූහය රුපියල් බිලියන 10.7ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව මුදල් අමාත්‍යාංශ වාර්තාවක් මගින් හෙළි කර ඇත.

ඒ අනුව 2024 වසරේ වාර්තා වූ ශුද්ධ අලාභය වන රුපියල් බිලියන 12.9ට සාපේක්ෂව මේ වසරේ අලාභය අඩුවී ඇතත්, මගී ගමනාගමනයේ සැලකිය යුතු දියුණුවක් තිබියදීම, Sri Lankan Airlines ගුවන් සමාගමේ මෙහෙයුම් පාඩුව ඉහළ ගොස් තිබීම මෙහි ඇති බරපතලම කරුණ වේ.

මෙම කාල සීමාව තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම හරහා මිලියනයකට අධික ගුවන් මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කර ඇති අතර, ගමනාගමනය 23%කින් ද වර්ධනය වී තිබේ. 

මෙනිසා ධාරිතා ප්‍රයෝජනය ද (load factor) පෙර පැවති 74.8%ක අගයේ සිට 82.3% දක්වා ඉහළ යාම නිසා ආදායම ද රුපියල් බිලියන 51.7ක් දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත්, ඉහළ යන මෙහෙයුම් වියදම් (operating cost) හේතුවෙන් මෙහෙයුම් අලාභය පෙර වසරේ පැවති රුපියල් බිලියන 3.5 සිට රුපියල් බිලියන 5.2 දක්වා ඉහළ ගොස් ඇත. 

එමෙන්ම භාණ්ඩ ප්‍රවාහන ආදායම (cargo revenue) 13%කින් පහත වැටීම ද Sri Lankan Airlinesහි මෙහෙයුම් අලාභය ඉහළ යාමට හේතු වී තිබේ. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකන් කේටරින් ආයතනය (Sri Lankan Catering) ලාභ වාර්තා කිරීම හේතුවෙන් සමූහ මෙහෙයුම් ලාභයක් පවත්වා ගැනීමට හැකි වී තිබේ.

ණය අර්බුදය : ශ්‍රී ලංකන් ගුවන් සමාගම මුහුණ දී ඇති දැවැන්ත සමුච්චිත ණය බර සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිකුත් කරන ලද වාර්තාව පිළිබඳව විශ්ලේෂකයෝ දැඩි ලෙස අවධානය යොමු කර ඇත.

ඒ අනුව එම සමාගම මේ වන විටත් රුපියල් බිලියන 628.3ක සමුච්චිත අලාභයක් ලබා ඇති අතර, ගිණුම් වාර්තාවල රුපියල් බිලියන 415.2ක හිඟයක් ද දක්නට ලැබේ.

ශුද්ධ පාඩුවට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ රුපියල් බිලියන 6.4ක මූල්‍ය පිරිවැය සහ රුපියල් බිලියන 4.9ක විදේශ විනිමය අලාභයන්ය.

මෙම විනිමය පාඩු ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයුම් රාමුවේ දෝෂයන් නිසා ඇති වූ බවට වාර්තාවෙන් පෙන්වා දෙයි. නමුත්, ශ්‍රී ලංකා ගුවන් සමාගම දුර්වල රාජ්‍ය පරිපාලනයක් යටතේ කළමනාකරණය වීම, මෙකී විශාල අතිරික්ත ණය ප්‍රමාණයකට හේතු වී ඇති බව විශ්ලේෂකයන්ගේ චෝදනාවයි.

කෙසේ වුවත් Emirates සමාගම ශ්‍රී ලංකන් සමාගමෙහි හිමිකාරීත්වයෙන් ඉවත් වූ දා සිට මේ දක්වාම එම සමාගම මෙරට බදු ගෙවන්නන්ගේ මුදලින්, Sri Lankan Airlinesහි අභිවෘධිය සඳහා නිතර නිතර ප්‍රාග්ධන මුදල් ලබා ගත්ත ද, අලාභය සහ ණය තවදුරටත් අඛණ්ඩව ඉහළ ගොස් ඇත. 

මෙකී මුදල් අමාත්‍යාංශ වාර්තාවට අනුව, 2025/26 සිට ක්‍රියාත්මක වන පරිදි Sri Lankan Airlinesහි අධ්‍යක්ෂ මණ්ඩලය නව ව්‍යාපාර සැලැස්මක් අනුමත කර ඇත.