ආර්ථික
නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති 33ක් සඳහා රු. බිලියන 2.37ක ඉන්දියානු ප්‍රදානයක් !
image for නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති 33ක් සඳහා රු. බිලියන 2.37ක ඉන්දියානු ප්‍රදානයක් !

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති 33ක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අතර අවබෝධතා ගිවිසුම් (Memoranda of Understanding – MoUs) 33ක් අත්සන් කිරීම උදෙසා කැබිනට් මණ්ඩලය පසු ගිය සඳුදා (27) අනුමැතිය ලබා දී ඇත.

මෙකී ව්‍යාපෘති ඉන්දියානු බහු-ක්ෂේත්‍ර ප්‍රදානයන් (Indian Multi-Sectoral Grants) යටතේ මෙරටට හිමි වේ.

 

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්. අභයරත්න ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

 

ඒ අනුව මෙකී වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ, නැගෙනහිර පළාතේ සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා යෝජිත ප්‍රමුඛතා ව්‍යාපෘති 33ක් වෙනුවෙන් ඉන්දියාව විසින් රු. මිලියන 2,371.83 (රු. බිලියන 2.37) ලබා දීමට 2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා හා ඉන්දියානු රජයන් අතර අත්සන් කරන ලද ද්විපාර්ශවීය පුළුල් අවබෝධතා ගිවිසුමකට අනුව ය.

 

ඊයේ (28) පැවති සතිපතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මේ පිළිබද අදහස් දක්වමින් සඳහන් කළේ, 

 

“නැගෙනහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සෑම ව්‍යාපෘතියක් සඳහාම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අතර වෙන වෙනම අවබෝධතා ගිවිසුම් අත්සන් කළ යුතුව ඇති ” බවයි.

 

මෙම වැඩසටහන වනාහී යටිතල පහසුකම්, ජීවනෝපාය සහ ප්‍රජා සුබසාධනය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඉන්දියාවේ දිගුකාලීන සංවර්ධන සහය වැඩසටහනේ කොටසකි.