
ශ්‍රී ලංකාව තුළ තෝරාගත් රටවල් සඳහා වූ වීසා රහිත ප්‍රතිපත්තිය තවත් මාසයක් හෝ දෙකක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බව සංචාරක අමාත්‍ය විජිත හේරත් ඊයේ (28) නිවේදනය කළේ ය.

ශ්‍රී ලංකාව තුළ තෝරාගත් රටවල් සඳහා වූ වීසා රහිත ප්‍රතිපත්තිය තවත් මාසයක් හෝ දෙකක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බව සංචාරක අමාත්‍ය විජිත හේරත් ඊයේ (28) නිවේදනය කළේ ය.
ඒ අනුව මෙම රෙගුලාසිය කියවා අවසන් කර ගැසට් කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසුවේ ය.
පාර්ලිමේන්තු අනුමැතිය : ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ය.
“අපි මෙම නව රෙගුලාසිය ගැසට් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය අවසන් කරමින් සිටිනවා. ඉන්පසු අපි බලාපොරොත්තු වෙනවා එය මාසයක් හෝ දෙකක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට.”
රජයේ බාලගිරි දෝෂය : 2024 වසරේ අගෝස්තු මාසයේදී පෙර රජය විසින් රටවල් 35ක් ආවරණය වන පරිදි ප්‍රකාශයට පත් කරන ලද වීසා රහිත ක්‍රමවේදය 2024 ඔක්තෝබර් 01 වනදා සිට බලාත්මක වීමට නියමිතව තිබුනමුත් රජයේ පරිපාලන සංක්‍රාන්තිය හේතුවෙන් එය දිගින් දිගටම ප්‍රමාද විය.
ඒ අනුව මෙම වසරේ ජූලි මාසයේදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇති රටවල් සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ නැංවූ බවයි.
ලාභ ද? අලාභ ද ? : වීසා ගාස්තු ආදායමෙන් භාණ්ඩාගාරයට වසරකට ඩොලර් මිලියන 66ක පමණ ඇස්තමේන්තුගත අලාභයක් සිදුවිය හැකි නමුත්, සංචාරක වියදම් වැඩිවීම තුළින් ඉහළ වක්‍ර ආදායමක් ලැබීමට මෙම ප්‍රතිපත්තියෙන් බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
කෙසේ වුවත් සංචාරක කර්මාන්තයේ විශේෂඥයින් පෙන්වා දුන්නේ, මෙම පියවර යුරෝපයේ ශීත ඍතුවේදී මෙරටට පැමිණෙන සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීමට දැන් ප්‍රමාද වැඩි බවයි.
“සංචාරක කර්මාන්තයේ සැබෑ වර්ධනය සඳහා කඩිනම් ක්‍රියාමාර්ග, ස්ථාවර ප්‍රතිපත්තියක් සහ පෞද්ගලික අංශය සමඟ අත්වැල් බැදගත් සැබෑ හවුල්කාරිත්වයක් අවශ්‍යයි,” යනුවෙන් ඔවුහු ‘Daily FT’ පුවත්පතට පැවසූ හ.
වසරේ ඉලක්කය : අමාත්‍ය විජිත හේරත් තවදුරටත් කියා සිටියේ, 2025 වසරේදී ශ්‍රී ලංකාව සපුරා ගත යුතුව තිබූ සංචාරක පැමිණීම් ඉලක්කය වූ මිලියන 3, මිලියන 2.4 දක්වා සංශෝධනය කර ඇති බව ය.
“වසර අවසන් වන විට සංචාරකයින් මිලියන 2.4ක් කරා ළඟා වීමට ශ්‍රී ලංකාව ඉලක්ක කරනවා. අපි එම ඉලක්කයට ළඟා වීමට අපේ උපරිමය උත්සාහ කරනවා,” ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
ඒ අනුව වසරේ ඉතිරි මාස දෙක තුළ එම ඉලක්කය සපුරා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ඔහු පැවසුවේ ය.
මෙම වසරේ මේ දක්වා වූ කාලය තුළ මිලියන 1.8 ඉක්මවූ සංචාරක පැමිණීම් වාර්තා වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සංචාරක සංඛ්‍යාව සහ ආදායම යන දෙකම ඉහළ නැංවීමට, විශේෂයෙන් යුරෝපීය වෙළෙඳපොළෙන් වැඩි අමුත්තන් ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන බව ද සඳහන් කළේ ය.
වාර්ෂික ඩොලර් ආදායම් ඉලක්කය : අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මේ වසරේ පළමු මාස නවය තුළ සංචාරක ආදායම ඩොලර් බිලියන 2.47 ක් වූ බවත්, එය රජයේ ඩොලර් බිලියන 5ක වාර්ෂික ආදායම් ඉලක්කයෙන් අඩකටත් වඩා අඩු බවත් ය.
ඒ අනුව ශ්‍රී ලංකාව 2024දී ඩොලර් බිලියන 3.17ක සංචාරක ආදායමක් උපයා ඇති අතර, එය 2023 වසරට වඩා 53.2%ක වැඩිවීමක් පෙන්වයි.
කෙසේ වුවත්, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) 5%කට ආසන්න දායකත්වයක් ලබා දුන් සංචාරක ව්‍යාපාරය, 2019 පාස්කු ඉරිදා ප්‍රහාර, 2020 COVID-19 වසංගතය සහ 2022 ආර්ථික අර්බුදය හේතුවෙන් 2018 වසරෙන් පසු බරපතල පසුබෑමකට ලක්විය.
ඒ අනුව එම වසරේදී (2018) මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියන 2.33ක් ලෙස සඳහන් වූ අතර, එම වසරේදී ඩොලර් බිලියන 4.5කට අධික ආදායමක් වාර්තා කරන ලදී.