ආර්ථික
ශාඛා 100ක් සමඟ ධම්මිකගේ හේලීස් සමාගම සුපිරි වෙළඳසැල් ක්ෂේත්‍රයට!
image for ශාඛා 100ක් සමඟ ධම්මිකගේ හේලීස් සමාගම සුපිරි වෙළඳසැල් ක්ෂේත්‍රයට!

බිලියනපති ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ පාලන කොටස් හිමිකාරිත්වයෙන් යුත් හේලීස් PLC (Hayleys PLC) සමාගම සුපිරි වෙළඳසැල් ක්ෂේත්‍රයට පිවිසීමට අදහස් කරන බවට ඊයේ දිනයේ (22) ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබේ.

මෙය වසර 148ක උරුමයක් සහිත හේලීස් සමාගමේ, විවිධාංගීකරණය හා වටිනාකම් නිර්මාණය කිරීමේ උත්සාහයේ, නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන දැවැන්ත පියවරක් ලෙස සැලකේ.

ඉදිරි සැලසුම් මොනවාද? : සමාගම විසින් නිකුත් කළ කෙටි ප්‍රකාශයකට අනුව, මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේදී (Phase 1) අලෙවිසැල් 100ක් විවෘත කිරීමට අපේක්ෂා කරයි. 

මෙම අලෙවිසැල් ප්‍රධාන නාගරික හා උප නාගරික ප්‍රදේශ පුරා උපාය මාර්ගිකව ස්ථානගත කිරීමට සැලසුම් කර ඇත.

මෙම නව පියවර මඟින් හේලීස් සමූහයේ උපාය මාර්ගික අරමුණක් වන ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ සේවා විශිෂ්ටත්වය, සාමාන්‍ය ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට ගෙන ඒම අවධාරණය කරයි. 

එමෙන්ම එය නවීන සිල්ලර අත්දැකීම නැවත අර්ථ දැක්වීමක්ලෙස ඔවුන් හඳුන්වා දෙයි. 

හේලීස් සමූහය පෙන්වා දෙන්නේ, ඔවුන්ගේ සැපයුම් දාමයන්හි ඇති පුළුල් ප්‍රවේශය, සන්නාම ශක්තිය, සැපයුම් කටයුතු (Logistics) විශේෂඥතාව, සිරස්ව ඒකාබද්ධ වූ නිෂ්පාදන හැකියාවන් සහ ශක්තිමත් මූල්‍ය පසුබිම හේතුවෙන් දිවයින පුරා වටිනාකම් මත පදනම් වූ සිල්ලර පරිසර පද්ධතියක් ගොඩනැඟීමට උචිත ලෙස එම සමාගම ස්ථානගත වී සිටින බවයි.

දැනටමත් පාරිභෝගික කල්පවත්නා භාණ්ඩ නිෂ්පාදකයෙකු සහ බෙදාහරින්නෙකු වන සිංගර් ශ්‍රී ලංකා (Singer Sri Lanka) සහ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදකයෙකු වන හරිශ්චන්ද්‍ර මිල්ස් (Harishchandra Mills) යන සමාගම් හේලීස් සමූහයේ කොටස් බවට පත්ව ඇත. 

කෙසේ වෙතත්, නව සුපිරි වෙළඳසැල් ජාලයේ වෙළෙඳ සන්නාමය මෙතෙක් අනාවරණය කර නොමැත.