ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (21) දින සනාඒ ටකයිචි (Sanae Takaichi) අගමැතිවරිය ලෙස තෝරා පත් කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ඇය ජපානයේ ප්‍රථම කාන්තා අගමැතිවරිය බවට පත් වීමට නියමිතය.
64 හැවිරිදි ටකයිචි, පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (LDP) නව නායිකාවයි. පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්, 237-149 ලෙස සිය ප්‍රතිවාදියා වූ ලිබරල් විපක්ෂයේ යොෂිහිකෝ නෝඩා (Yoshihiko Noda) පරයා ජය ගත්තාය.
පළමු වටයේදී එක් ඡන්දයකින් බහුතරය මඟ හැරීමෙන් පසු, දෙවන ඡන්ද විමසීමේදී ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 125-46 කින් ද ඇය තේරී පත් වී තිබේ.
යකඩ ගැහැණිය ලෙස විරුදාවලිය ලත් හිටපු බ්‍රිතාන්‍ය නායිකා මාග්‍රට් තැචර්, සිය වීරවරිය ලෙස හඳුන්වන ටකයිචි විසින්, පෙර රජය මෙන්ම තවත් කාන්තාවන් දෙදෙනෙකු ඇගේ කැබිනට් මණ්ඩලයට පත් කර ඇත. ඔවුන් අතර ජපානයේ පළමු කාන්තා මුදල් අමාත්‍යවරිය වන සට්සුකි කටයාමා (Satsuki Katayama) ද වෙයි.
ටකයිචි වෙත එල්ලවන විවේචන: නව අග්‍රාමාත්‍යවරිය දරන අතිශය ගතානුගතික අදහස් සහ ප්‍රතිපත්ති හේතුවෙන්, කාන්තාවක් අගමැති ධූරයට පත් වුවද, එය ජපානයේ සාමාන්‍ය කාන්තාවන්ට ලැබුණු ජයග්‍රහණයක් නොවන බව විචාරකයෝ පවසති.
ටෙම්පල් විශ්වවිද්‍යාලයේ ජපාන මණ්ඩපයේ ආසියානු අධ්‍යයන මහාචාර්ය Jeff Kingston, NBC පුවත් සේවයට පවසා තිබුණේ, “ජපානයේ මෙය ඓතිහාසික මොහොතක් යැයි කෙනෙකුට පැවසිය හැකියි. නමුත් කාන්තාවන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් ඇගේ දුර්වල වාර්තාව සලකා බැලීමේදී එම තර්කය ඉදිරිපත් කිරීම ඇත්තෙන්ම අසීරුයි.”
ටකයිචි, සමලිංගික විවාහ වලට විරුද්ධ වන අතර ජපානයේ හීන වෙමින් යන අධිරාජ්‍ය පවුලේ උරුමය පිරිමින්ට පමණක් සීමා කිරීමට කැමැත්තක් දක්වයි. තවද, විවාහක යුවළකට එකම වාසගම භාවිතා කිරීම අනිවාර්ය වන ජපානයේ, විවාහක කාන්තාවන්ට ඔවුන්ගේ විවාහයට පෙර තිබූ වාසගම තබා ගැනීමට පහසු වන පරිදි නීති වෙනස් කිරීමට ද ඇය විරුද්ධය.
ටකයිචි LDP නායිකාව ලෙස තේරී පත් වූ අවස්ථාවේ, ජපාන ස්ත්‍රීවාදී ලේඛිකා චිසුකෝ යූනෝ (Chizuko Ueno) පැවසුවේ ජපානයට ප්‍රථම වතාවට කාන්තා අගමැතිවරියක් ලැබීමේ අපේක්ෂාව තමන් සතුටු නොකරන බවයි. “ටකයිචි තමා දකින්නේ තැචර්ගේ ජපන් අනුවාදය ලෙසයි,” 77 හැවිරිදි යූනෝ ‘X’ (Twitter) හි සටහනක් පළ කරමින් කියා සිටියාය.
දේශපාලන අනාගතය: “වෘත්තීය හා පෞද්ගලික ජීවිතයේ සමබරතාවය” (work-life balance) යන යෙදුම තමන් විසින් ඉවත් කරන බව ටකයිචි සිය ජයග්‍රාහී කතාවේදී අවධාරණය කළාය. තමන් වැඩම පමණක් කිරීමට ඉටා ගන්නා බව ඇය තරයේම කියා සිටියාය.
නව අගමැතිනියගේ ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා, එල්.ඩී.පී. පක්ෂය, ඔසාකා හි පිහිටි අන්ත දක්ෂිණාංශික පක්ෂයක් වන ‘ජපාන නවෝත්පාදන පක්ෂය’ සමඟ සන්ධානයක් ඇති කර ගත්තේය. මෙම සන්ධානය සමඟ වුවද, ටකයිචිට පාර්ලිමේන්තුවේදී දුෂ්කර සටනකට මුහුණ දීමට වන බව පෙනී යයි. ඇයගේ පක්ෂය සම්බන්ධයෙන් නැගෙන දූෂණ චෝදනා සහ ඉහළ යන ජීවන වියදම් සම්බන්ධයෙන් ඡන්දදායකයින්ගේ කෝපය මධ්‍යයේ, මෑත කාලීන මැතිවරණවලදී LDP පක්ෂයට මුහුණ දීමට සිදුවූ දුෂ්කරතා තව දුරටත් පැවතීම හෝ උත්සන්න වීම විය හැකිය. එබැවින්, ඇයගේ පූර්වගාමියා වූ ෂිගේරු ඉෂිබා (Shigeru Ishiba) මෙන්ම ඇයගේ අගමැති ධූරය ද කෙටි කාලයකින් අවසන් විය හැකි බව විචාරකයින්ගේ මතයයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත බලයට පැමිණීමෙන් පසු සිය පළමු ආසියානු සංචාරය සඳහා එළැඹෙන සතියේ ජපානයට පැමිණීමත් සමඟ නව අගමැතිවරියගේ ප්‍රථම රාජතාන්ත්‍රික කාර්‍යන් පරීක්ෂණයට ලක් වීමට ද නියමිතයි.