ආර්ථික
GABV 2025 ආසියා – පැසිෆික් කලාපීය සාමාජිකයින්ගේ සභා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම කොළඹදී!
image for GABV 2025 ආසියා – පැසිෆික් කලාපීය සාමාජිකයින්ගේ සභා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම කොළඹදී!

2025 වසර සඳහා ගුණාත්මක බැංකුකරණය සඳහා වූ ගෝලීය සන්ධානයේ (Global Alliance for Banking on Values – GABV) ආසියා – පැසිෆික් කලාපීය සාමාජිකයන්ගේ සභා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පසුගිය ඔක්තෝබර් 15 -16 දෙදින කොළඹ සිනමන් ලයිෆ් – සිටි ඔෆ් ඩ්‍රීම්ස් (Cinnamon Life City of Dreams) හිදී පැවැත්විණි.

ඒ අනුව මෙම දින දෙකක වැඩසටහන නම්කර ඇත්තේ කර්මාන්ත සගයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ සිවිල් සමාජ නායකයින් සමඟ සමුළුවට සහභාගිවන්නන් අදහස් හුවමාරු කර ගන්නා ගැඹුරු සහයෝගීතා හුවමාරුවක් ලෙසිනි.

 

මෙම රැස්වීම සඳහා Sarvodaya Development Finance සත්කාරකත්වය දැරූ අතර, කලාපයේ සාමාජික බැංකු 20කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන් මෙම රැස්වීම සඳහා එක්ව සිටියහ. මෙම හමුව සදහා තිරසාර මූල්‍ය ක්ෂේත්‍රයේ ගෝලීය නායකයින් ප්‍රථම වතාවට කොළඹට එක්රැස් වීමද විශේෂත්වයකි.

 

ඒ අනුව මෙම රැස්වීමට, Sunrise Banks (එක්සත් ජනපදය), Southern Bancorp (එක්සත් ජනපදය), Qudos Bank ( ඕස්ට්‍රේලියාව), EkoBanken (ස්වීඩනය), Centenary Bank (උගන්ඩාව), Bank Muamalat (මැලේසියාව), BRAC Bank (බංග්ලාදේශය), ඉන්දියාව, නේපාලය, ඇෆ්ගනිස්තානය, ටජිකිස්තාන්, පැපුවා නිව්ගිනියාව සහ කිර්ගිස්තාන් යන රටවල් නියෝජනය කරන ප්‍රමුඛ මූල්‍ය සාමාජික  ආයතනවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ සහභාගී වූහ.

 

මෙවර තේමාව:  “ගුණාත්මක බැංකුකරණය” යන තේමාව යටතේ ආචාර ධාර්මික සහ තිරසාර මූල්‍ය පිළිවෙත් මගින් ප්‍රජාවන් හා ආර්ථිකයන් තුළ දිගුකාලීන බලපෑමක් ඇති කළ හැකි ආකාරය පිළිබඳව මෙවර වැඩසටහන තුළින් සාකච්ඡා කළ අතර, දේශගුණික විපර්යාස, මෙරට කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ගුණාත්මක බැංකුකරණ පිළිවෙත් ශක්තිමත් කිරීමට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) ඉලක්ක කරන වටිනාකම් මත පදනම් වූ බැංකුකරණය (value-based banking) කෙරෙහි ඒවායේ බලපෑම් පිළිබඳව මෙම රැස්වීමේදී අවධානය යොමු විය.

 

2025 GABV ආසියා – පැසිෆික් කලාපීය රැස්වීම සඳහා සත්කාරකත්වය දැරීමට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනයට අවස්ථාව ලැබීම පිළිබඳව තමා සතුටු වන බව සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා පැවසී ය. 

 

ඒ අනුව ශ්‍රී ලංකාවට මෙය හුදෙක් රැස්වීමක් පමණක් නොවන බවත්, එය තිරසාරභාවය ලබාදීම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සවිබල ගැන්වීමට මෙන්ම ගුණාත්මක නවෝත්පාදනයන් හරහා ජාතික ප්‍රතිස්ථාපන සහ විවිධ ආර්ථික තත්වයන්ට ඔරොත්තු දීමේ ගමනට සෘජුවම සම්බන්ධ වන්නක් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

 

GABV හි විධායක අධ්‍යක්ෂ මාටින් රෝනර් (Martin Rohner) මහතා අදහස් දක්වමින් පැවසුවේ ප්‍රධාන බැංකු හා සමානව තරගකාරී වීමට නම් කුඩා බැංකු වටිනාකම් මත පදනම් විය යුතු බවත්, ඒ අනුව බැංකුකරණයේදී කෘත්‍රිම බුද්ධිය (AI) ප්‍රධාන වන බවයි.

ඒ අනුව ඔවුන්ටත් අනෙක් බැංකු මෙන් කෘත්‍රිම බුද්ධිය ගැන අවධානය යොමු කිරීමට සිදුවන බවත්, AI මගින් පිරිවැය කාර්යක්ෂම කර ගැනීමට සහ පාරිභෝගිකයින් වෙත වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමට ඇති හැකියාව පිළිබද සොයා බැලිය යුතු බවත් ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

විශේෂයෙන් මූල්‍ය ක්ෂේත්‍රය තුළදී වටිනාකම් මත පදනම් වූ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ඉටුකර ගැනීමට AI ඉතා ප්‍රබල මෙවලමක් විය හැකි බව ඔහුගේ අදහසයි.

මොකක්ද මේ GABV? : 2009 වසරේදී ආරම්භ කරන ලද ගෝලීය බැංකුකරණ ගුණාත්මක සන්ධානය (GABV) යනු තිරසාර ආර්ථික, සමාජීය සහ පාරිසරික සංවර්ධනය සඳහා මූල්‍ය ක්ෂේත්‍රය භාවිතා කිරීමට කැප වූ ස්වාධීන බැංකු, ණය සමිති සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 70කට අධික සංඛ්‍යාවක එකතුවෙන් සැකසුණු ගෝලීය ජාලයකි.

ඒ අනුව එහි සාමාජිකයින් එක්ව රටවල් 45ක විසිරී සිටින ගනුදෙනුකරුවන් මිලියන 60කට වැඩි පිරිසකට සේවය සපයන අතර, ඔවුන්ගේ ඒකාබද්ධ වත්කම් ඩොලර් බිලියන 200 ඉක්මවන බව පැවසේ.