ආර්ථික
ශ්‍රී ලංකාව හැරවුම් ලක්ෂ්‍යයක, ඩොයිෂ බැංකුව කියයි
image for ශ්‍රී ලංකාව හැරවුම් ලක්ෂ්‍යයක, ඩොයිෂ බැංකුව කියයි

ජර්මනියේ බහුජාතික මූල්‍ය සේවා දැවැන්තයා වන ඩොයිෂ බැංකුව (Deutsche Bank) පසුගිය සතියේ ප්‍රකාශ කළේ, සාර්ව ආර්ථික දර්ශක (macroeconomic indicators) ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාව හැරවුම් ලක්ෂ්‍යයක සිටින බවත්, ඒ අනුව ගෝලීය ප්‍රාග්ධනය ඉපැයීම සඳහා මාර්ගයක් ලෙස ශ්‍රී ලංකාවේ වෙළෙඳාම සහ ආයෝජන සක්‍රීය කිරීමට තම සහාය ලබා දෙන බවත් ය.

ඒ අනුව ඩොයිෂ බැංකු සමූහයේ ඉන්දියාව සහ නැඟී එන ආසියාවේ ප්‍රධාන විධායක නිලධාරී කෞෂික් ශපාරියා Daily FT පුවත්පතට ලබා දුන් විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී තම අදහස් දක්වමින් සඳහන් කළේ, “ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රධාන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් පසු, නව ස්ථාවරත්වයක් පිළිබඳ හැඟීමක් ඇති බවත්, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික දර්ශක වැඩිදියුණු වී ඇති අතර රට හැරවුම් ලක්ෂ්‍යයක සිටින” බවත් ය.

“ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ඇතිවූ ප්‍රතිසංස්කරණ හේතුවෙන් සැපයුම්, නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්ති සහ සංචාරක ක්ෂේත්‍ර ප්‍රගතියක් අත් කර ගෙන ඇති අතර, ඒ අනුව ආයෝජක විශ්වාසය නැවත ගොඩනැගෙද්දී, අපි එම අංශවලට ප්‍රාග්ධනය සහ උපදේශන සහාය ලබා දීමට සූදානම්,” යනුවෙන් ය.

“මේ අනුව අපි අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවට ගෝලීය ප්‍රාග්ධන වෙළෙඳපොළ සමඟ නැවත සම්බන්ධ වීමට, විදේශ ආයෝජන ප්‍රවාහයන්ට පහසුකම් සැලසීමට සහ එහි වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට උපකාර කිරීමයි.”

ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන බහුජාතික සේවාදායකයින් සමඟ දිගින් දිගටම සමීපව කටයුතු කරමින්, ස්ථාවර අවදානම් සහ අනුකූලතා රාමුවක් තුළ ඔවුන්ට ගෝලීය මූල්‍ය විසඳුම් ලැබෙන බවට සහතික කරන බවත් ඔහු තවදුරටත් පැවසුවේ ය.

කෙසේ වුවත් ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව යහපත් ප්‍රගතියක් පෙන්වමින් සිටින බැවින්, රජයට සහ පෞද්ගලික අංශයට සහාය වීමට ඩොයිෂ බැංකුව කැමැත්තෙන් සිටින බවත් ඔහු පැවසුවේ ය.

ඒ අනුව ඩොයිෂ බැංකුවේ අවධානයට ලක්වන කරුණු අතර ගෝලීය ප්‍රාග්ධන වෙළෙඳපොළ සමඟ නැවත සම්බන්ධ වීම, විදේශ සෘජු ආයෝජන (FDI) සඳහා පහසුකම් සැලසීම ආදිය ඇතුළත් වන බවත්, ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන බහුජාතික සමාගම්වලට සහාය වන බව කෞෂික් ශපාරියා පැවසීය.

විශ්වාසනීය සැලැස්මක් මගින් අභියෝග මධ්‍යයේ වුවද, ඩොයිෂ බැංකුව ශ්‍රී ලංකාව සමඟ නිරන්තරයෙන් කටයුතු කළ බවත්, ශ්‍රී ලංකාව වැදගත් හවුල්කරුවෙකු ලෙස සලකන බව ද ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියානු කලාපයේ දිගු කාලීන අපේක්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, දිගින් දිගටම ප්‍රතිසංස්කරණ සිදුකිරීමෙන් ශ්‍රී ලංකාවට කලාපීය වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස මතු විය හැකි බවත්, ඩොයිෂ බැංකුව තිරසාරව සහ උපායමාර්ගිකව ශ්‍රී ලංකාවේ වර්ධනයට සහය වීමට කැපවී සිටින බවත් ය.

මොකක්ද මේ ඩොයිෂ බැංකුව? : ඩොයිෂ බැංකුව මේ වසරේ ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් වසර 45 ක් සම්පූර්ණ කරන අතර ශ්‍රී ලංකාවට සේවය කරන එකම යුරෝපීය බැංකුව ලෙස හදුනා ගත හැක.