ආර්ථික
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් !
image for ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් !

ශ්‍රී ලංකාවට මූල්‍ය ආකර්ෂණය කර ගැනීමට, අපනයන යළි පණ ගැන්වීමට සහ දිගුකාලීන වෙළෙඳපොළ තරගකාරීත්වයක් ගොඩනැගීම සදහා යෝජිත තීරණාත්මක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලෝක බැංකුව ඊයේ (07) දින යෝජනා කර තිබේ.

එහිදී ඔවුන් අනතුරු ඇඟවූයේ මෙරට අපනයන වර්ධනය මන්දගාමී වී ඇති බවත්, රටේ වර්ධන අරමුණු සපුරාලීමට අවශ්‍ය සෘජු විදේශ ආයෝජන (FDI) තවමත් ඉතා අඩු මට්ටමක පවතින බවත් ය.

ඒ අනුව මේ පිළිබද අදහස් දක්වමින් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් පැවසුවේ මෙරටේ අපනයන හා ආයෝජන ක්‍රියාකාරිත්වය තවමත් දුර්වල මට්ටමක පවතින බවයි.

වර්ධනය මන්දගාමීයි : එමෙන්ම මෙරට අපනයන වර්ධනය මන්දගාමී වී ඇති බවත්, සෘජු විදේශ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 0.5%ක් පමණ අඩු මට්ටමක පවතින බවත් ඔහු සඳහන් කළේ ය. 

ඒ අනුව ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වන ක්ෂේත්‍ර කිහිපයක් පෙන්වා දුන් ඔහු, බදු පරිපාලනය ශක්තිමත් කිරීමට සහ බදු වියදම් (tax expenditures) කළමනාකරණය කිරීම සඳහා විනිවිදභාවයෙන් යුත් නීතිමය රාමුවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යා යුතු බවත් පැවසුවේ ය.

මේ ක්‍රියාකාරකම් අතරතුරේදී බදු ප්‍රතිසංස්කරණයන් අඛණ්ඩව සිදුකිරීම හරහා වඩාත් හොඳින් ආර්ථික වර්ධනය, ණය තිරසාරභාවය සහ සමානාත්මතාවය ඇති කිරීමට හැකි වනු ඇති බවත්, රාජ්‍ය ව්‍යවසායන්හි මූල්‍ය ශක්‍යතාව සහතික කිරීම සඳහා පිරිවැය පරාවර්තක උපයෝගිතා මිලකරණය (cost-reflective utility pricing) ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

අවදානම් පිළිබඳව විමසිල්ලෙන් : ඔහු තවදුරටත් අනතුරු ඇඟවූයේ, මෙරට උද්ධමනය පාලනය කිරීමට සහ අධික ණය ලබා ගැනීම වැළැක්වීම සඳහා මෙරට මුදල් ප්‍රතිපත්තිය ඉතාමත් හොඳින් ක්‍රමාංකනය කර පවත්වාගත යුතු බවත්, ඉහළ අක්‍රීය ණය (non-performing loans) සහ රජයේ ණය සඳහා බැංකු නිරාවරණය (the exposure of banks to government debt) ඇතුළු මූල්‍ය අංශය තුළ ඇතිවිය හැකි අවදානම් පිළිබඳව අඛණ්ඩව විමසිලිමත්ව සිටිය යුතු බවත් ය.

කෙසේ වුවත් රාජ්‍ය බැංකු පාලනය සහ හිමිකාරිත්වයේ ප්‍රගතියක් ඇති බව සඳහන් කළ ඔහු, මෙකී ප්‍රතිසංස්කරණයන් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවට වැඩිදුරටත් පැවසුවේ ය.

අර්ධ තීරුබදු (para tariff) ප්‍රතිසංස්කරණය කිරීමට ද ඔහු අවධානය යොමු කළේ ය.

ඒ අනුව අර්ධ තීරුබදු යම්තාක් දුරකට ආදායම් උපදවන ඒවා වුව ද, ඒවා වෙළෙඳපොළට සහ අපනයන අංශයට විශාල වශයෙන් විකෘතිතා ඇති කරන බැවින්, එම අර්ධ තීරුබදු ඉවත් කිරීමට උත්සාහ කළ යුතු බවත්, ආදායම් උත්පාදනය කරන යාන්ත්‍රණයක් හෝ මාධ්‍යයක් ලෙස පමණක් නොසලකා, වෙළඳාම මෙහෙයවීමට සහ පහසුකම් සැලසීමට රේගු පරිපාලනය සහ එහි ක්‍රියාවලි වැඩිදියුණු කිරීමට කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේ ය.

වැඩි අවධානයක් : එමෙන්ම ප්‍රධාන ආර්ථික අංශවල තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා රාජ්‍ය ව්‍යවසායන්හි (SOEs) අධීක්ෂණය සහ කළමනාකරණය වැඩිදියුණු කිරීමට ද යෝජනා කළ ඔහු, මුදල්, සංචාරක කර්මාන්තය , කෘෂිකර්මාන්තය, තොරතුරු තාක්ෂණය (IT) සහ සේවා සැපයීම වැනි ක්ෂේත්‍ර වලට ද අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන්නේ ය.

එපමණක් නොව මෙරට ශ්‍රම බලකායට කාන්තා ශ්‍රමය වැඩි වශයෙන් එකතු කර ගැනීමට ද අවධානය යොමු කළ යුතු බව ඔහු පැවසුවේ ය.

ශ්‍රී ලංකාවේ ඉඩම්වලින් 80%ක් පමණ රජය සතු බවත්, මෙම හේතුව නිසා ගොවීන්ගේ කෘෂිකාර්මික ඵලදායිතාව අඩු වී ඉඩම්වල තිරසාර භාවිතය සහ කළමනාකරණය දුර්වල වන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

රජයේ මෑත කාලීන ස්ථාවරකරණ කාර්ය සාධනය පිළිබඳව ධනාත්මක අදහසක් පළ කළ ඔහු, ප්‍රතිපත්ති ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද අවධාරණය කළේ ය.