ආර්ථික
ජනපති හා IMF දූත හමුවක්; මීළඟ ණය වාරිකය දෙසැම්බරයේදී!
image for ජනපති හා IMF දූත හමුවක්; මීළඟ ණය වාරිකය දෙසැම්බරයේදී!

IMF දූත පිරිසක් සමඟ ඊයේ (07) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති පස්වන මධ්‍ය සමීක්ෂණ රැස්වීමේදී (mid-point review meeting) ජනාධිපතිවරයා පැවසුවේ, රජයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය හරහා ශ්‍රී ලංකා ආර්ථිකයේ දිගුකාලීන ස්ථාවරත්වය, වර්ධනය හා ආයෝජකයින්ගේ විශ්වාසය සුරැකීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

IMF දූත පිරිසටමෙහෙයුම් ප්‍රධානී ඊවෑන් පැපජෝර්ජියෝ (Evan Papageorgiou), ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරිය වන මාර්තා වෝල්ඩෙමයිකල් (Martha Woldemichael) සහ IMF නිලධාරීන් වන සන්දේශ් ධුංගානා (Sandesh Dhungana), උර්සුලා විරියදිනාතා (Ursula Wiriadinata), දිනාර් ප්‍රිහාර්දිනී (Dinar Prihardini), සැම්සන් ක්වාලින්ගනා (Samson Kwalingana), ඔස්ලෙම් අයිඩින් (Ozlem Aydin), ඩැනිලෝ පලර්මෝ (Danilo Palermo) සහ මානවි අබේවික්‍රම (Manavee Abeyawickrama) යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.

ඒ අනුව මෙම සාකච්ඡාව පිළිබද සඳහන් කරමින් ඊයේ (07) දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වූයේ , මෙරට පැවති ආර්ථික අර්බුදයෙන් රට නැවත යථා තත්වයට පත් කිරිමේ ශ්‍රී ලංකාවේ ගමනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතිශය වැදගත් හවුල්කරුවෙකු වන බවයි.

සාකච්ඡාවේ ප්‍රතිඵල : මේ අනුව IMFහි විස්තීරණ අරමුදල් පහසුකමේ (Extended Fund Facility) හයවන වාරිකය දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිතය.

කෙසේ වුවත් සාකච්ඡාව අතරතුරදී, IMF දූත පිරිස පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව තුළ  ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය අගය කළහ. ඒ  අතර රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දෙමින් සිටින බව ඔවුහු පැවසූහ.  

එමෙන්ම ආර්ථික වර්ධනය වීමේ අපේක්ෂාවන්, විදේශ සංචිත ශක්තිමත් වීම සහ රාජ්‍ය මූල්‍ය ආදායම වැඩිදියුණු වීමත් සමඟ වර්තමාන ආණ්ඩුව ගෙන ආ ප්‍රතිසංස්කරණ ඵල දරමින් ඇති බව එපිරිස තවදුරටත් අවධාරණය කළ හ.

ඒ අනුව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම මෙන්ම රට නැවත යථා තත්ත්වයට පත්වීම තහවුරු කිරීම, වෙළෙඳ ප්‍රතිපත්ති වෙනස්වීම් හා භූ දේශපාලනික ආතතීන් ඇතුළු ගෝලීය අවිනිශ්චිතතාවයන්ට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා මෙකී ප්‍රතිසංස්කරණ කලින් කලට යාවත්කාලීන කරමින් පවත්වාගෙන යාම ඉතා වැදගත් බව ද  IMF දූතයින් විසින් සඳහන් කර තිබේ.

දිගුකාලීන සැලැස්මක් : ජනාධිපති දිසානායක තම අදහස් දක්වමින් සඳහන් කළේ, විශේෂයෙන් ග්‍රාමීය සංවර්ධනය මෙහෙයවීම සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා ආයෝජනයන් හා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට රජයේ ආර්ථික ව්‍යාප්ති මෙහෙයුමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවයි.

විශ්වාසය හා ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීම සඳහා IMFහි අඛණ්ඩ සහයෝගය ඉතා වැදගත් වී ඇති බවත්, ආර්ථික වර්ධනය පවත්වා ගැනීම සඳහා ශක්තිමත් යටිතල පහසුකම් සහ සුදුසු ආයෝජන පරිසරයක් අත්‍යවශ්‍ය බව ද ජනපතිවරයා පැවසුවේ ය.

මේ අනුව රජයේ ප්‍රක්ෂේපිත වර්ධන ඉලක්ක පවත්වා ගැනීම සඳහා IMF ආයතනය විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ඉලක්ක ඉක්මවා යාම අනිවාර්ය වන බවත්, ඒ සඳහා සෘජු විදේශ ආයෝජන (FDI) නොකඩවා ශක්තිමත් ලෙස ගලා ඒම අවශ්‍ය බවත් ජනාධිපතිවරයා පැවසුවේ ය. 

මෙකී අරමුණු ඉටුකර ගැනීම සඳහා අඛණ්ඩව රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනීම, ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය සහ ප්‍රධාන ආර්ථික අංශ හරහා ආයෝජන අවස්ථා උපායමාර්ගිකව සලසා ගැනීම අවශ්‍ය බව ද ඒ ඔහු ප්‍රකාශ කළේ ය.