කාලීන
දේශගුණික විපත් හේතුවෙන් ළමා අවතැන්වීම් අතින් ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට!
image for දේශගුණික විපත් හේතුවෙන් ළමා අවතැන්වීම් අතින් ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට!

නිශේනි අතපත්තු විසිනි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවකට අනුව, කාලගුණික හා දේශගුණික විපත් නිසා සිදුවූ ළමා අවතැන්වීම් අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ තෙවන ස්ථානයට පත්ව ඇත.

මෙහි පළමු හා දෙවැනි ස්ථාන පිළිවෙලින් ඉන්දියාවට හා බංග්ලාදේශයට ලැබී ඇත.

ඉන්දියාව පෙරමුණේ : “ඉන්දියාවේ වෙසෙන විශාල ජනගහනය සැලකිල්ලට ගත් විට, එම කාලය තුළ කාලගුණය ආශ්‍රිත විපත්වලට සම්බන්ධ ළමා අවතැන්වීම්වල ඉහළම නිරපේක්ෂ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වූ අතර, එය මිලියන 6.9 ක් ලෙස වාර්තා විය” යැයි එකී දත්ත වාර්තාවේ දැක්වේ.

බංග්ලාදේශය ඉහළම සාපේක්ෂ බලපෑම් වාර්තා කළ අතර, එහි ළමා ජනගහනයෙන් 7.2%ක් අවතැන් වී ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙකී රටවල් දෙකටම ඉතා ආසන්නයෙන් නමුත් පසුපසින් සිටින අතර, පසුගිය වසර හත තුළ මෙරට වයස අවුරුදු 18 ට අඩු ජනගහනයෙන් 4.6%ක් පමණ අවතැන් වී ඇති බවට දැක්වේ.

ශ්‍රී ලංකාවේ තත්වය :  2016 සිට 2022 දක්වා කාලය තුළ එක් ව්‍යසනයක් සඳහා සාමාන්‍යයෙන් ළමා අවතැන්වීම් 965 ක් මෙරටින් වාර්තා විය.

ඒ අනුව වසර හතක් තුළ මෙරට ළමා ජනගහනයෙන් 4.6%ක් හෝ දළ වශයෙන් ගත් කල ශ්‍රී ලාංකික දරුවන් 280,000ක් පමණ අවතැන් වී ඇත. 

මෙකී ළමා අවතැන්වීම්වලින් 54%ක් පමණ කුණාටු නිසා සිදු වී ඇති අතර, ගංවතුර නිසා 44%කට සිය නිවෙස් අතහැර යාමට සිදුවී ඇත.

2016 දී ශ්‍රී ලංකාවට වසර 25කට පමණ පසුව වැඩිම වර්ෂාපතනයක් ගෙන ආ ‘රෝආනු’ (Roanu) නිවර්තන සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ දරුවන් 141,000ක් පමණ අවතැන් වූ බව එකී වාර්තාව පෙන්වා දෙයි.

UNICEF වාර්තාවට අනුව කලාපීය දත්ත විශ්ලේෂණය කිරීමේදී, විශේෂයෙන් බංග්ලාදේශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි ඉවත් කිරීමේ ක්‍රියා පටිපාටි සහ පූර්ව අනතුරු ඇඟවීමේ ප්‍රතිපත්ති (evacuation procedures and early warning policies) සහිත රටවල, බොහෝ අවතැන්වීමේ සංඛ්‍යා පූර්වගාමී ඉවත් කිරීම් වලින් නිර්මාණය වන බව පිළිගත යුතුය.

මේ අනුව මෙම ඉවත් කිරීම්,අවතැන්වීමේ ස්වරූපයක් වන අතර, මේවා දරුවන්ට අවදානම් තත්ත්වයන් නිර්මාණය කළ හැකි වුවද, ඒවා ජීවිත ආරක්ෂා කිරීම සඳහා ඉතා ඵලදායී බව ඔප්පු වී ඇති බවත්, එවැනි ආපදා වැළැක්වීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමෙන් පසු විවිධ ස්වාභාවික උපද්‍රව වලින්, විශේෂයෙන් සුළි කුණාටුවලින් සිදුවන මරණ කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත්, විවිධ ස්වාභාවික හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉහළ යන කාලගුණය ආශ්‍රිත විපත් සහ දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් දකුණු ආසියානුවන් අවතැන්වීමේ අවදානමකට මුහුණ දෙන බව එම වාර්තාව තවදුරටත් පෙන්වා ‍දෙයි.

ඒ අනුව එකී විපත් බොහෝ විට මිනිසුන්ට තම වාසස්ථාන අතහැර දමා යන්නට හේතුසාධක සපයන අතර, එය ගැඹුරු සමාජ-ආර්ථික ගැටලු ඇතිකරන්නකි.

ඒ අනුව මෙම අර්බුදයන් මධ්‍යයේ, දරුවන්ගේ අධ්‍යාපනයට හා සෞඛ්‍ය සේවාවලට බාධා ඇතිවීම සහ ළමා අපචාරවලට මෙන්ම ප්‍රචණ්ඩත්වයට ද වැඩි වශයෙන් නිරාවරණය වන අතර, මෙනිසා දරුවන්ට ආරක්ෂාව සැලසීම සදහා වර්තමාන රජය, විවිධ පරිත්‍යාගශීලීන්, සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශය එකමුතු වී ක්‍රියා කරන ලෙස යුනිසෙෆ් ආයතනය ඉල්ලා සිටියි.