ආර්ථික
ශ්‍රී ලංකා ණය වැඩසටහනේ පස්වන සමාලෝචනයට IMF දූතයින් දිවයිනට!
image for ශ්‍රී ලංකා ණය වැඩසටහනේ පස්වන සමාලෝචනයට IMF දූතයින් දිවයිනට!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිසක් එහි විස්තීරණ අරමුදල් පහසුකම් (Extended Fund Facility – EFF) වැඩසටහනේ පස්වන සමාලෝචනය සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

ඒ අනුව මේ පිළිබද අදහස් දක්වමින් බලධාරියෙක් කියා සිටියේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත්, බදු එකතු කිරීමේ කටයුතු දියුණු වෙමින් පවතින බවත් ය.

 

විශිෂ්ට ප්‍රගතියක් : IMFහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලී කෝසැක් වොෂින්ටනයේදී මාධ්‍යවේදීන් අමතමින් පවසා සිටියේ, ඊළඟ සමාලෝචනය සම්බන්ධයෙන් කිව හැක්කේ, EFFහි පස්වන සමාලෝචනය වෙනුවෙන් අපගේ දූත පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින බව ය.

 

එමෙන් ම ඈ තවදුරටත් සදහන් කළේ එකී කණ්ඩායම දැන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බැවින්, දූත මෙහෙවර අවසාන වන තෙක් කිසිවක් පැවසීම අපහසු බව ය.

 

ශ්‍රී ලංකාවේ EFF වැඩසටහන “විශිෂ්ට ප්‍රගතියක්” අත්කර ගනිමින් සිටින බවත්, ශ්‍රී ලංකාවේ ආදායම් එකතු කිරීම ඉහළ ගොස් ඇති බවත්, උද්ධමනය අඩු මට්ටමක පවතින බවත් ඇය පැවසුවා ය.

 

2024 වසරේ දී 5%ක් දක්වා ආර්ථිකය වර්ධනය වීම මෙරට ඇතිවූ ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ ප්‍රබෝධයක් වන අතර එය විශිෂ්ට ජයග්‍රහණයක් බව පැවසූ ඈ, 2022 වසරෙහි මෙරට දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සාපේක්ෂව ආදායම 8.2%ක් ලෙස පැවති අගය, වර්තමානය වන විට 13.5%ක් දක්වා ඉහළ නැංවීම ද සැලකිය යුතු වර්ධනයක් ලෙස සලකන බවත් සදහන් කළා ය.

 

ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වී ඇති අතර, සමස්තයක් වශයෙන් වැඩසටහන් කාර්ය සාධනය ඉතා ශක්තිමත් එකක් බවත්, වර්තමාන ආණ්ඩුව එකී වැඩසටහනේ අරමුණු වෙනුවෙන් කැපවී සිටින බවත් ජූලී කෝසැක් පැවසුවා ය.