කාලීන
ව්‍යාපාරික ප්‍රජාව SVAT ඉවත් කිරීමට එරෙහිව අධිකරණයට!
image for ව්‍යාපාරික ප්‍රජාව SVAT ඉවත් කිරීමට එරෙහිව අධිකරණයට!

ප්‍රතිපූරණ යාන්ත්‍රණයක් නොමැතිව අපනයනකරුවන් සඳහා වූ සරල කළ එකතු කළ අගය මත බදු අයකර ගැනීමේ ක්‍රමය, එනම් SVAT ක්‍රමය ඉවත් කිරීමට ආදායම් දෙපාර්තමේන්තුව (IRD) ගත් තීරණයට එරෙහිව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරික මණ්ඩල තුනක් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමය (FTZMA), ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) සහ ශ්‍රී ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය එක්ව නීත්‍යානුකූලව අනිවාර්ය කර ඇති ස්වයංක්‍රීය ප්‍රතිපූරණ යාන්ත්‍රණය (the legally mandated automated refund mechanism) ක්‍රියාත්මක නොකර ඔක්තෝබර් 01 වන දින සිට VAT එකතු කිරීම ආරම්භ කිරීමට ආදායම් දෙපාර්තමේන්තුව විසින් ගත් තීරණයට අභියෝග කරමින් පසුගිය අඟහරුවාදා (30) අභියාචනාධිකරණය හමුවේ රිට් අයදුම්පතක් ගොනු කරන ලදී.

 

එල්ලවන චෝදනා : මේ යටතේ අපනයනකරුවන් හා අපනයනකරුවන් ලෙස සලකන ලද ව්‍යාපාර, අපනයනකරුවන්ගේ උප කොන්ත්‍රාත්කරුවන්, අපනයන සැපයුම් දාමයේ සේවා සපයන්නන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් (SME) සහ පුළුල් ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ, නිසි පරිදි ක්‍රියාත්මක නොවන ප්‍රතිපූරණ පද්ධතියක් නොමැතිව සහ එකී ප්‍රතිපූරණ යෝජනා ක්‍රමයේ කොන්දේසි ගැසට් පත්‍රයේ පළ නොකර අපනයන ආශ්‍රිත ව්‍යාපාරවලින් VAT එකතු කිරීම නීති විරෝධී, අසාධාරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවයි.

 

ඒ අනුව මෙකී ව්‍යාපාරික මණ්ඩල විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අපනයන ප්‍රජාවේ ඉල්ලීම මත පෙර පරිපාලනය විසින් කල් දමා තිබූ සරල කළ එකතු කළ අගය මත බදු (SVAT) යෝජනා ක්‍රමය රජය විසින් මේ වසර මුලදී අහෝසි කරන ලද බවයි.

 

නිර්ණායක කෝ ? : එම අහෝසි කිරීමට සමගාමීව, 2025 ඔක්තෝබර් 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නව ස්වයංක්‍රීය, අවදානම් මත පදනම් වූ VAT ප්‍රතිපූරණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බවට ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් පැවතුනත්, මෙතෙක් එවැනි පද්ධතියක් ක්‍රියාත්මක කර නොමැති අතර, ප්‍රතිපූරණ යෝජනා ක්‍රමයේ හරිත, ඇම්බර් සහ රතු මාර්ග (Green, Amber, and Red channels) සඳහා වන තෝරාගැනීමේ නිර්ණායකයන් ද ප්‍රකාශයට පත් කර නොමැති බවයි.

 

කෙසේ වුවත් 2010 වසර දක්වා අපනයනකරුවන්ට ගෙවිය යුතු, දිගු කලක් තිස්සේ ඉතිරි වී ඇති VAT ප්‍රතිපූරණ තවමත් පියවා නොමැති බව පෙන්වා දෙමින්, දින 45ක් ඇතුළත ප්‍රතිපූරණ ලබා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දෙන සහතිකවල ඇත්ත නැත්ත පිළිබඳව මෙකී ව්‍යාපාර මණ්ඩල ප්‍රශ්න කර තිබේ.

SVAT යටතේ “බදු කාන්දු වීම්” (leakages) සිදුවූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලවෙත දැනුම් දී ඇත.

 

මේ අනුව පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ,  දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔවුන්ගේම මාර්ගගත පද්ධතියක් හරහා පරිපාලනය කර අධීක්ෂණය කරනු ලැබුවද, මේ සම්බන්ධයෙන් කිසිදු වරදකරුවෙකු හඳුනාගෙන හෝ වරදකරුවෙකු නම් කර නොමැති බවයි.

 

පෙත්සම්කරුවන් තවදුරටත් තර්ක කරන්නේ, SVAT අහෝසි කිරීම, දේශීයආදායම් දෙපාර්තමේන්තුව දුන් උපදෙස් අනුව, විවිධ ප්‍රමාදයන්ට සහ දූෂණයන්ට මුල් වූ මුදල්-ප්‍රතිපූරණ ක්‍රමයක්, ඵලදායී යැයි හංවඩු ගසා නැවත ස්ථාපිත කර ඇති බවයි.

 

අපනයන සැපයුම් දාමයේ ගලායාමට බාධා කරමින් විදේශ විනිමය හිඟයක් මෙනිසා ඇති විය හැකි අතර, 2028 වසර වන විට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබදතාවලට ද අවදානමක් ඇති කළ හැකි බවට පෙත්සම්කරුවන් අවධාරණය කරයි.

 

ශ්‍රී ලංකා අපනයනකරුවන් විසින් පසුගිය සතියේ SVAT ඉවත් කිරීම කල් දමන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියද, ආණ්ඩුව එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

 

SVAT ඉවතට, VAT ඇතුළට : ඒ අනුව ඔක්තෝබර් 01 වන දින සිට, VAT බද්ද එකතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රජයට ලබා දෙන මුදල් ප්‍රවාහය සඳහා අපනයනකරුවන්ට පොලී ගෙවීමට සිදුවනු ඇත. 

මීට පෙර බදු ගෙවීමේ ක්‍රමය SVAT ක්‍රමය යටතේ වවුචර මත පදනම් විය.