
ජපාන-ශ්‍රී ලංකා සබඳතාවල නව පිටුවක් පෙරලමින්, ජපානය විසින් ශ්‍රී ලංකාවට නිල ආරක්ෂක ප්‍රදාන (Official Security Development Assistance – OSDA) ලබා දීම ආරම්භ කර ඇති බව ජපාන තානාපති කාර්යාලය පවසයි.

ජපාන-ශ්‍රී ලංකා සබඳතාවල නව පිටුවක් පෙරලමින්, ජපානය විසින් ශ්‍රී ලංකාවට නිල ආරක්ෂක ප්‍රදාන (Official Security Development Assistance – OSDA) ලබා දීම ආරම්භ කර ඇති බව ජපාන තානාපති කාර්යාලය පවසයි.
ඒ අනුව ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඉදිරියේ ටෝකියෝ නුවරදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත් හේරත් මහතා අතර මෙම නිල ආරක්ෂක ප්‍රදාන (OSA) පිළිබඳ සටහන් හුවමාරු කර ගැනීම ඊයේ (29) සිදු විය.
ජපන් ඩ්‍රෝන : මෙහි පළමු අදියර ලෙස නිරීක්ෂණ, අධීක්ෂණ සහ ආපදා සහන කටයුතු සඳහා භාවිත කිරීම පිණිස ජපානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා වර්ග දෙකක් වෙනුවෙන් යෙන් මිලියන 500ක් (ආසන්න වශයෙන් රුපියල් බිලියනයක්) ජපානය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට පිරිනැමීමට නියමිත ය.
එමෙන්ම ශ්‍රී ලංකාවට ලැබෙන ජපානයේ පළමු OSA ප්රදානය දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව නව අදියරකට පිවිස ඇති බව සංකේතවත් කරන බව ජපාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.
මොකක්ද මේ OSA? : 2023 වසරේදී ආරම්භ කරන ලද OSA යනු සම මතධාරී රටවල ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ජපානය විසින් හඳුන්වා දුන් නව ප්‍රදාන ආධාර සහයෝගිතා රාමුවකි.
ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වන ‘නිල සංවර්ධන ප්‍රදාන (ODA) මෙන් නොව, OSA හරහා රටක සන්නද්ධ හමුදා සඳහා වෙත ප්‍රදානයන් සිදු කළ හැකිය. මීට අමතරව, ශ්‍රී ලංකාවේ කිරි ආශ්රිත නිෂ්පාදන තාක්ෂණික වශයෙන් ඉහළ නංවාලීම සඳහා ද ජපානය ප්‍රදානයන් ලබා දීමට නියමිත ය.
යෙන් මිලියන 464ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 945ක්) වටිනා මෙම ප්රදානය යටතේ ශ්‍රී ලංකාවේ මධ්‍යම, උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල පශු සම්පත් පහසුකම් සඳහා තාක්ෂණික උපකරණ ජපානය විසින් ලබා දීමට නියමිත ය.