කාලීන
මහජන සේවා සැලසීමට රජයෙන් සුපිරි App එකක්!
image for මහජන සේවා සැලසීමට රජයෙන් සුපිරි App එකක්!

රාජ්‍ය අංශයේ සේවාවන් සමූහයකට ප්‍රවේශ වීම සඳහා තනි වේදිකාවක් ලෙස Super App යෙදවුමක් නිර්මාණය හා සංවර්ධනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස ඊයේ (23) දිනයේදී පැවසුවේ ය.

මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල මිලියන 500කි.

All in one : කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ඇමතිවරයා පැවසුවේ  දැනට පවතින ක්‍රමවේදය යටතේ පුරවැසියන්ට රාජ්‍ය අංශයේ සේවාවන් ලබා ගැනීම සඳහා විවිධ මාර්ගගත වේදිකාවලට නැවත නැවතත් එකම තොරතුරු ඇතුළත් කිරීමටත්, විවිධ සත්‍යාපන ක්‍රියාවලීන් සිදු කිරීමටත් සිදුවීමෙන් විශාල දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බවයි.

එමඟින් කාලය සහ සම්පත් විශාල වශයෙන් අපතේ යන බව ද හෙතෙම සඳහන් කළේ ය.

ඒ අනුව ඇමතිවරයා සදහන් කළේ මෙමඟින් සිදුවන ආර්ථික පාඩුව රුපියල් මිලියන 500ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන බව ය.

එම නිසා රජයේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගයන්ට අනුකූලව, පුළුල් පරාසයක විහිදී ගිය රාජ්‍ය සේවා ආවරණය කරන රජයේ සුපිරි යෙදුමක් (Super App) නිර්මාණය කිරීම රජයේ සේවා සැපයීමේ උපායමාර්ගික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගෙන තිබෙන බවත් ඔහු සඳහන් කළේ ය.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ වයස අවුරුදු 18ට හෝ ඊට වැඩි මිලියන 14ක් වූ පුරවැසියන්ට වසරකට මිලියන 2ක් පමණ ප්‍රවේශයන් සඳහා එක් අතුරු මුහුණතක් (interface) හරහා රාජ්‍ය සේවාවන් ලබා ගැනීමේ හැකියාව සලසන, සියලුම රාජ්‍ය සේවාවන් එක් පරිශීලක-හිතකාමී ජංගම යෙදුමක් (user-friendly mobile application) සහ එක් වෙබ් යෙදුමක් (web application) ලෙස ඒකාබද්ධ කරන ඩිජිටල් වේදිකාවක් සකස් කිරීමට ද අපේක්ෂා කරන බව ඔහු පැවසුවේ ය.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය : ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සදුදා දින (22) කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද රුපියල් මිලියන 500ක වියදමින් 2026 වසර අවසානය වන විට අදියර දෙකකින් නිම කිරීමට නියමිත රාජ්‍ය සුපිරි යෙදුම් (Super App) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබුණි.