ආර්ථික
IMF නිර්ණායකයන්ට ගැළපෙන ලෙස වරාය නගර බදු සහනවල වෙනසක්!
image for IMF නිර්ණායකයන්ට ගැළපෙන ලෙස වරාය නගර බදු සහනවල වෙනසක්!

ශ්‍රී ලංකාවේ කොළඹ පෝට්සිටි කලාපය කේන්ද්‍ර කොටගත් විශේෂ ආර්ථික කලාපයෙහි (Colombo Port City Special Economic Zone) පාලන තන්ත්‍රයේ වෙනස්කම් සිදුකර ඇති අතර, IMF අරමුදලෙහි මූල්‍ය ප්‍රතිසංස්කරණවලට අනුකූලව බදු නිදහස් කිරීම් (tax holidays) අඩු කර ආයෝජනයන් කිරීමේ සීමාවන් ඉහළ නංවා ඇත.

ඒ අනුව සැප්තැම්බර් 20 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව, අගෝස්තු මාසයේදී කල් ඉකුත් වූ පෙර නීති වෙනුවට නව නීති පනවා ඇති අතර ඒවා ඉදිරි වසර පහ සඳහා බලාත්මක වනු ඇත. 

මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කරන ලද මෙම නීති රෙගුලාසි ප්‍රකාරව වසර 25ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ පැවති බදු නිදහස් කිරීම් මේ අනුව අඩු වේ.

සපුරාලිය යුතු සුදුසුකම් : නව නීති යටතේ බදු ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා යම් ව්‍යාපෘතියක් ‘උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්’ ලෙස සුදුසුකම් ලැබිය යුතු ය. 

ආයෝජන සහ රැකියා සීමාවන් සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති අතර, ඩොලර් මිලියන 100, ඩොලර් මිලියන 500, හෝ ඩොලර් බිලියන 1ක් ආයෝජනය කරන හෝ අවම වශයෙන් සේවකයින් 300ක් හෝ සේවයේ යොදවන ව්‍යාපෘති පිළිවෙලින් වසර 10, 12 සහ 15ක ආදායම් බදුවලින් නිදහස් වීම සඳහා සුදුසුකම් ලබයි.

එමෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය ආවරණය කරන සිව්වන කාණ්ඩය යටතේ, වසර අටක බදු නිදහස් කිරීමක් සමඟ ඩොලර් මිලියන 25ක් සහ රැකියා 100ක් ඇතුළත් වූ ව්‍යාපාරයක් විය යුතු ය.

ඒ අනුව සියලුම බදු ප්‍රතිලාභ සහ බදු නිදහස් කිරීම් ක්‍රියාත්මක වන්නේ ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් පසුව පමණක් වන අතර ඒ සදහා වසර 4ක – 8ක කාලයක් ගත විය හැකි ය.

බදු ප්‍රතිලාභ : කෙසේ වුවත් නව නීති රාමුව නිසා පෙර පැවති වසර 25ක බදු නිදහස් කිරීම් සහ පසුකාලීනව පනවන ලද අතිරේක සහනවලින් විශාල ලෙස වෙනස් වෙයි. 

ඒ අනුව මේවා වැට් නැමැති  බද්දෙන් ද නිදහස් කර ඇති නමුත් රේගු ආඥාපනත සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු වැනි නීති තවමත් අදාළ වේ.

උපායමාර්ගික වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරවලට තවදුරටත් දීර්ඝ බදු ප්‍රතිලාභ හිමි නොවන අතර, ඒ වෙනුවට ව්‍යාපෘති ඇරඹීමෙන් පසු ඉදිරි වසර හතරක් සඳහා ඔවුන්ට 7.5% ක සහනදායී අනුපාතයකින් බදු අය කරනු ලබන අතර, පසුව සම්මත ආයතනික බදු නීති වෙත නැවත මාරු වනු ඇත.

කෙසේ වුවත් මෙම ව්‍යාපාර හා ආයතන නම් කිරීමේදී වරාය නගර කොමිෂන් සභාව (Port City Commission) තම අභිමතය පරිදි කටයුතු කරන නමුත් සියලු ප්‍රමාණාත්මක සහ ගුණාත්මක සුදුසුකම් නිර්ණායක ඉවත් කිරීමට කටයුතු කර ඇත.