
ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට තම ආණ්ඩුව කැපවී සිටින බවත්, රටේ බලශක්ති අංශය කිසිසේත්ම පුද්ගලික අංශයට පවරා දීමට අදහසක් නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) දිනයේදී අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට තම ආණ්ඩුව කැපවී සිටින බවත්, රටේ බලශක්ති අංශය කිසිසේත්ම පුද්ගලික අංශයට පවරා දීමට අදහසක් නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) දිනයේදී අවධාරණය කළේ ය.
ඔහු ඒ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණයන් පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අමතමින් ය.
මෙම රැස්වීමට බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කරන කමිටුවේ සාමාජිකයෝ මෙන්ම, මෙරට තුළ අලුතින් පිහිටුවන ලද බලශක්ති ආයතන වන Electricity Distribution Lanka Ltd., National Transmission Network Service Provider Ltd., Electricity Generation Lanka Ltd., සහ National System Operator Ltd. යන ආයතනවල අධ්‍යක්ෂවරු ද සහභාගී වූ හ.
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි, බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීවරු කිහිප දෙනෙක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
පෞද්ගලීකරණය වෙනුවට ඵලදායීතාවය : ජනාධිපතිවරයා අවධාරණය කළේ බලශක්ති ස්වාධීනත්වය වනාහී රටක ආර්ථික වර්ධනය, ජාතික ආරක්ෂාව සහ දිගුකාලීන ස්ථාවරත්වය සඳහා ඉතා වැදගත් වන බවයි.
ඒ අනුව මෙම ප්‍රතිසංස්කරණවල අරමුණ පෞද්ගලීකරණය කිරීමක් නොව, පවතින රාමුව තුළ ඇති අකාර්යක්ෂමතා ඉවත් කර වඩාත් විධිමත් හා ඵලදායී පද්ධතියක් නිර්මාණය කිරීම බව ඔහු සඳහන් කළේ ය.
ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් ව්‍යුහය යල්පැන ගිය එකක් බවත්, වර්තමානයේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා සපුරාලීමට එයට නොහැකි බවත් ජනපතිවරයා පැවසුවේ ය.
ඒ අනුව මෙම නව ප්‍රතිසංස්කරණ ප්‍රධාන වශයෙන් අරමුණු කරගෙන ඇත්තේ කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ දැරිය හැකි මිල ගණන් වන අතර, බලශක්ති ස්වාධීනත්වය මෙරට රජය සතුව පවතින බවට එමගින් සහතික විය යුතු ය.
ජනපතිගෙන් සහතිකයක් : ඒ අනුව මෙම සංක්‍රාන්ති සමයේදී කිසිදු රැකියාවක්, තනතුරක් හෝ වැටුපක් කප්පාදු නොකරන බවටත්, ලංකා විදුලිබල මණ්ඩලය යටතේ එහි සේවකයින්ට හිමිවූ සියලු අයිතිවාසිකම් සහ ප්‍රතිලාභ ආරක්ෂා කරන බවටත් ජනාධිපතිවරයා සහතික විය.
එපමණක් නොව, ලංකා විදුලිබල මණ්ඩලයට විශේෂිත වූ සේවක ගැටලු හඳුනාගෙන ඒවාට විසදුම් නව පද්ධතිය ආශ්‍රයෙන් ලබාදීමට කටයුතු කරන බවට ද ඔහු ප්‍රතිඥා දුන්නේ ය.
ඒ අනුව ආයතනික ව්‍යුහයන් පවතින්නේ ඒවායේ සේවකයින් සඳහා පමණක් නොව රට සහ එහි ජනතාව වෙනුවෙන් බවත්, මෙම නව ප්‍රතිසංස්කරණ මගින් වඩාත් කාර්යක්ෂමව, අඛණ්ඩව සහ සාධාරණ මිල ගණන් යටතේ විදුලිය සැපයීමට හැකි වුවහොත්, එය රජයේ මෙන්ම සේවකයන්ගේ ද ජයග්‍රහණයක් වනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
මෙම ප්‍රතිසංස්කරණ මගින් සිදුවන්නේ රජයේ ආයතන විකිණීමක් හෝ ඒවායේ අයිතිය පැවරීමක් නොව, ගෝලීය සංවර්ධන භාවිතාවන්ට අනුකූලව සිදුකරන පරිවර්තනයක් බව ද ඔහු නැවත නැවතත් අවධාරණය කළේ ය.
මෙම සාකච්ඡාවේදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළ අභියෝග සහ යෝජනා පිළිබඳව ද අවධානය යොමු වූ අතර, මෙරට බලශක්ති අංශයේ පරිවර්තනයන් මෙහෙයවීම සඳහා නවීන ආයතනික රාමුවක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.
ඒ අනුව බලශක්ති අංශය ජාතික අවශ්‍යතා සපුරාලන රාජ්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන බවට සහතික කරන අතරේම, සේවක අයිතිවාසිකම් ද ආරක්ෂා කිරීමට රජය සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවටද ජනපතිවරයා ප්‍රකාශ කළේය.