ආර්ථික
රාජ්‍ය අංශයේ මැදිහත්වීම් අඩුකිරීමට ලෝක බැංකුවෙන් යෝජනා
image for රාජ්‍ය අංශයේ මැදිහත්වීම් අඩුකිරීමට ලෝක බැංකුවෙන් යෝජනා

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට රාජ්‍ය අංශයේ මැදිහත්වීම ක්‍රමානුකූලව අඩු කළ යුතු බවත්, ඒ සදහා දිගුකාලීන ඉලක්කගත ප්‍රතිපත්ති යොදා ගත යුතු බවත් ලෝක බැංකුව වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කරයි.

ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය සමාලෝචනයට අනුව, රාජ්‍ය අංශයේ සේවකයින්ට පුද්ගලික අංශයේ සේවකයන්ට වඩා අඩු වැටුපක් ගෙවන නමුත් ප්‍රමාණයෙන් වැඩි පිරිසක් රාජ්‍ය සේවයේ යොදවා ඇති හෙයින්, මෙරට ආර්ථිකයට රාජ්‍ය අංශයේ මැදිහත්වීම ක්‍රමානුකූලව අඩු කිරීම හෝ අවශ්‍ය පරිදි හැඩගැස්වීමක් හෝ සිදු කළ යුතු බව සඳහන් වේ.

එමෙන්ම එකී වාර්තාවට අනුව දිගු කාලීන ඉලක්කගත ප්‍රතිපත්ති මගින් රාජ්‍ය අංශයේ රැකියා තවදුරටත් අඩු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇති බවත් සඳහන් ය.

රජයේ රැකියා අඩුකිරීමක්? : ඒ අනුව ඉදිරි වසර දෙක තුන ඇතුළත තවදුරටත් මෙරට සේවක සංඛ්‍යාව අඩු වීම නිසා මෙරට සේවා සැපයීමේ අංශයට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවත්, අධික ලෙස සේවකයන් සිටින අංශ සහ වෘත්තීන් නිසි පරිදි හැඩගැස්විය යුතු බවත්, අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවකයන්ගේ හිඟයක් ඇති නොවන පරිදි එය සිදු කළ යුතු බවත් එම වාර්තාව නිර්දේශ කරයි.

ඒ අනුව සිදුකිරීමට නියමිත රාජ්‍ය අංශ්‍යේ රැකියා අඩු කිරීම් වනාහී රජය සහ අර්ධ රාජ්‍ය අංශ හරහා මානව සම්පත් සැලසුම්කරණය සහ පුළුල් ක්‍රියාකාරී සමාලෝචනයකින් පසුව සිදුකළ යුතු අතර, එය මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සම්බන්ධීකරණය කළ යුතු බවත් එම වාර්තාවේ සඳහන් ය.

ලෝක බැංකු සමාලෝචනය : “රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව අඩු කිරීම මානව සම්පත් සැලසුම්කරණය සහ සමස්ත (අංශයේ) පුළුල් ක්‍රියාකාරී සමාලෝචනයක් මගින් මෙහෙයවිය යුතුය” යනුවෙන් ලෝක බැංකු සමාලෝචනය සඳහන් කරයි. 

“එවැනි සමාලෝචනයකින් පසුව මතුවන යාවත්කාලීන කළ කාර්ය මණ්ඩල ව්‍යුහයන්, සංශෝධිත හා අනුමත කළ රාජ්‍ය අංශයේ කාඩරය ( public sector cadre) සඳහා පදනම වන අතර, සේවකයන්ගේ අඩුවීම මගින් කාර්ය මණ්ඩල ගැලපීම් සඳහා මධ්‍ය කාලීන අරමුණක් ස්ථාපිත කරනු ඇත” යනුවෙන් එහි තවදුරටත් සඳහන් ය.

එමෙන්ම එකී ක්‍රියාවලියේ සහ එහි ප්‍රතිඵලවල හිමිකාරිත්වය සහතික කිරීමට නම් මෙකී ක්‍රියාකාරකම් එක් එක් අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව හෝ රාජ්‍ය අංශයේ කාඩරය මගින් කළමනාකරණය කිරීමට බලයලත් ආයතනයන් විසින් හෝ සිදු කළ යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන් ය.

“මෙම ක්‍රියාවලිය ප්‍රමුඛතා ආයතන හෝ කාඩරයන්හි කාර්ය මණ්ඩලයන් තෝරාගෙන, ඒවා වැඩි කිරීමට විනිවිදභාවයකින් යුක්තව, රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය සකස් කිරීම සඳහා පහළ සිට ඉහළට ගලා යන රාමුවක් ස්ථාපිත කරනු ඇත.”

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂම ලෙස වැටුප් පත්‍රිකා අයවැයකරණය කිරීමට සහ ඒවා සම්බන්ධව පුරෝකථනයන් සැපයීමට මෙන්ම මානව සම්පත් සහ වැටුප් දත්ත වඩාත් හොදින් කළමනාකරණය කිරීමට මෙන්ම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන්ද ලෝක බැංකුවේ අවධානය යොමු වී ඇත. 

ඒ අනුව මධ්‍යම හා දිගු කාලීනව වැටුප් වියදම්වල විනිවිදභාවය පවත්වාගෙන යාමට සහ මානව සම්පත් සැලසුම්කරණය වැඩිදියුණු කිරීමට හැකිවන පරිදි, මෙරට රජය විසින් නවීන වූත්, කේන්ද්‍රගත වූත් වැටුප් ක්‍රමයක් හෝ අඩුපාඩු රහිත මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතියක් සකස් කිරීම පිළිබදව අවධානය යොමුකළ යුතු වේ.

එකී වාර්තාවට අනුව සේවකයින්ගේ ඕනෑම වැටුප් වැඩිවීමක් අදියර වශයෙන් සිදු කළ යුතු අතර, එය ක්‍රමානුකූලව සේවක සංඛ්‍යාව අඩු කිරීමෙන් ලැබෙන ඉතිරිකිරීම් සමඟ සමපාත විය යුතුය.

එපමණක් නොව රැකියා ඇගයීම් සහ කාර්ය සාධන දිරිගැන්වීම් පිළිබඳ උපදෙස් ලබා ගැනීමට සහ වැටුප්වල විනිවිදභාවය අඩු කරන තාවකාලික දීමනා ලබාදීම වළක්වා ගැනීම සඳහා ජීවන වියදම් ගැලපුම් රාමුවක් (A cost-of-living adjustment framework) නිර්දේශ කිරීම සඳහා මධ්‍යම වැටුප් කොමිසමක් පත් කරන ලෙස ලෝක බැංකුව තවදුරටත් නිර්දේශ කරයි.