
2025 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිත අගය (Gross Domestic Product – GDP) 4.9%කින් වර්ධනය වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2025 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිත අගය (Gross Domestic Product – GDP) 4.9%කින් වර්ධනය වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මෙයට ප්‍රධාන වශයෙන්ම කර්මාන්ත සහ සේවා අංශවල දායකත්වය හේතු වී ඇති අතර වාහන ආනයනය සඳහා වන සීමා ඉවත් කිරීම සහ පොලී අනුපාත පහළ දැමීම ද මේ සඳහා බලපා ඇති බව රජයේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ මෙම කාර්තුව සඳහා4.1%ක ආර්ථික වර්ධනයක් වාර්තා කර තිබුණි.
පැහැදිලි වැඩිවීමක් : මෙම වසරේ අප්‍රේල් – ජූනි කාර්තුව වනාහී ආර්ථික අර්බුදයෙන් පසුව මෙරට ආර්ථිකය අඛණ්ඩව වර්ධනය වූ අටවන කාර්තුව ලෙස හදුනාගත හැකි අතර, මේ අනුව රටෙහි පෙර පැවති අස්ථාවර ආර්ථික තත්වය නැවත යථා තත්ත්වයට පත්වීමේ ලකුණු පෙන්නුම් කරයි.
ඒ අනුව පසුගිය කාර්තුවට වඩා මෙම කාර්තුවේදී කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 2%, 5.8% සහ 3.9%ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර තිබේ.
වර්ධනයට හේතු :
“වාහන ආනයන සීමා ඉවත් කිරීම, සාපේක්ෂව අඩු මට්ටමක පවතින පොලී අනුපාත සමඟ සම්බන්ධ වෙමින් ‘වාහන අලුත් වැඩියාව ඇතුළත් තොග සහ සිල්ලර වෙළෙඳාම,’ ‘ගබඩාකරණ කටයුතු ඇතුළත් භාණ්ඩා හා මගී ප්‍රවාහනය,’ ‘මූල්‍ය සේවා කටයුතු,’ ‘රක්ෂණ සේවා කටයුතු,’ මෙන්ම භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදු (සහනාධාර අඩුකළ) වැනි ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් හරහා ආර්ථිකය වර්ධනය කිරීමට සමත්වී ඇත.”
– ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
එමෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට සාමාන්‍ය දායකත්වයක් ලබාදුන් ඉදිකිරීම් අංශය, පතල් කැණීම් සහ ගල්කොරි කර්මාන්ත අංශය ද 2025 දෙවන කාර්තුවේදී වැඩි දායකත්වයක් ලබා දී තිබෙන බව දත්ත වාර්තාවල සඳහන් ය.
ඒ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තවදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2022 සහ 2023 වසරවලදී ඇති වූ ආර්ථික පසුබෑමෙන් පසුව නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බවයි.
කෙසේ වුවත් ශ්‍රී ලංකා මහ බැංකුව අවධමනකාරී ප්‍රතිපත්තියක් තවදුරටත් ක්‍රියාත්මක කර ඇති නිසා අතීතයේ මෙන් මූල්‍ය ස්ථාවරත්වය නොසලකා හරිමින් ආර්ථිකය ඉහළ නැංවීමට දරන උත්සාහයන් හේතුවෙන් උද්ධමන තත්වයක් නැවත මතුවිය හැකි බව විව්ධ පාර්ශව මත පළ කරති.
මේ අතර මහ බැංකුව ඇස්තමේන්තු කර ඇත්තේ 2025 දී ආර්ථිකය පසුගිය වසරේ මෙන්ම 5%කින් පමණ මේ වසරේදී ද වර්ධනය වනු ඇති බවයි.