ආර්ථික
ආණ්ඩුව බිස්නස් කරන්නේ නැති බව හඳුන්නෙත්ති කියයි!
image for ආණ්ඩුව බිස්නස් කරන්නේ නැති බව හඳුන්නෙත්ති කියයි!

වර්තමාන ආණ්ඩුව මෙරට ව්‍යාපාර සෘජුවම කළමනාකරණයට දායක වනවාට වඩා ඒවා දියුණු කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම ප්‍රධාන කාර්යභාරය කරගෙන ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පසුගිය සිකුරාදා (12) ප්‍රකාශ කළේ ය.

ඒ ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ 35 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී තම අදහස් දක්වමින් ය.

පෞද්ගලික අංශය දිරිමත් කිරීමක් : එමෙන්ම ඔහු තවදුරටත් කියා සිටියේ වර්තමානයේ සක්‍රීයව ක්‍රියාකාරී නොවන රාජ්‍ය ව්‍යවසාය 33ක් වසා දැමීමට ද සැලසුම් කරන බවත්, එමගින් රාජ්‍ය මූල්‍ය මත බදු ගෙවන්නන්ට ඇති බර අඩු කිරීමට මෙන්ම පෞද්ගලික අංශය දිරිමත් කිරීමටද අදහස් කරන බවයි.

ඔහු වැඩිදුරටත් මේ පිළිබද තම අදහස් දක්වමින් සඳහන් කළේ, මෙම ආයතන බොහෝමයක් පිහිටුවා තිබුණේ මහජන සේවාවන් සැපයීමට හෝ උපායමාර්ගික ආර්ථික කටයුතු ප්‍රවර්ධනය කිරීමට වුවුත් ඒවා වර්තමාන අවශ්‍යතා සහ වෙළඳපොළ තත්ත්වයන්ට නොගැළපෙන බව ය.

බොහෝ ආයතන ආර්ථිකයට හෝ ජනතාවගේ පැවැත්ම පහසු කිරීමට කිසිදු දායකත්වයක් ලබා දීමට අසමත් ව ඇති බවත්, මේවා නඩත්තු කිරීම වනාහී පොදු සම්පත් නාස්ති කිරීමක් බවත් ය. 

මේ අනුව මෙම පියවර රජයේ පුළුල් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ කොටසක් බවත්, විවිධ ආයතනයන්හි රජයේ හිමිකාරිත්වය විධිමත් කිරීමත්, ඒවායේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට මෙන්ම පෞද්ගලික අංශයේ වර්ධනයට ඉඩ සැලසීම මෙහි ප්‍රධාන අරමුණු බවත් ඇමතිවරයා කියා සිටියේ ය.

අදියර දෙකක් : මෙකී ආයතන වසා දැමීමේ ක්‍රියාවලිය මුදල් අමාත්‍යාංශයේ විශේෂ ඒකකය යටතේ අදියර දෙකකින් සිදු කෙරෙනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

ඒ අනුව ඇතැම් ආයතන සම්පූර්ණයෙන්ම වසා දැමීමට නියමිත අතර, තවත් සමහරක් ඒකාබද්ධ කිරීමකට ලක් කිරීමට ඉඩ ඇත.

වර්තමාන ආණ්ඩුව සියලු රාජ්‍ය ව්‍යවසාය ආයතන විකුණා දමන බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එකී ප්‍රකාශ සියල්ලක් ම දේශපාලනික අභිප්‍රායන් මත සිදු කරන ඒවා බවයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ මෙම ක්‍රියාවලිය වනාහී රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමක් ලෙස නොව වර්තමානයට නොගැළපෙන අක්‍රීය ආයතන ඉවත් කිරීමක් ලෙස දැකිය යුතු බවත් ය.

ඒ අනුව ඔහු පැහැදිලි කළේ මෙහි අරමුණ වත්කම් විකිණීම නොව නාස්තිය අඩු කිරීම බවයි.