
2026 අයවැය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමේ දිනයන් ඇතුළත් කර සකස් කරන ලද කාලසටහන ඊයේ (11) පාර්ලිමේන්තුව විසින් නිකුත් කර ඇත.

2026 අයවැය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමේ දිනයන් ඇතුළත් කර සකස් කරන ලද කාලසටහන ඊයේ (11) පාර්ලිමේන්තුව විසින් නිකුත් කර ඇත.
කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සදහන් කළා ය.
න්‍යාය පත්‍රය : ඒ අනුව 2026 අයවැයෙහි පළමු වර කියවීම සැප්තැම්බර් 26වන දිනට යොදා ඇති අතර අයවැය කථාව (දෙවන වර කියවීම) ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් නොවැම්බර් 7 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
අයවැය විවාදයන් : ජනපතිවරයා අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 දක්වා දින හයක් පුරා පැවැත්වීමට නියමිත අතර, ඡන්ද විමසීම නොවැම්බර් 14 වන දින සවස 6ට පැවැත්වීමට නියමිත ය.
අනතුරුව කාරක සභා විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා දින 17ක් පුරා පැවැත්වෙන අතර, අයවැය තෙවන වර කියවීමේ ඡන්දය දෙසැම්බර් 5 වන දින සවස 6 ට පවත්වා සියලු කටයුතු අවසන් කිරීමට නියමිත ය.
මෙම කාල සීමාව තුළ පාර්ලිමේන්තුව ඉරිදා දිනයන් සහ රජයේ නිවාඩු දින හැර, සෙනසුරාදා දින ද ඇතුළුව සෑම සතියේ දිනකම රැස්වනු ඇත.
මෙකී රැස්වීම් සඳුදා දිනවල පෙ.ව. 9:30ටත්, අනෙකුත් සියලුම දිනවල පෙ.ව. 9ටත් ආරම්භ වන අතර, දීර්ඝ විවාදයන්වලට ඉඩ ලබාදීම සදහා ප.ව. 6 දක්වා පැවැත්වීමට නියමිත ය.
එපමණක් නොව දිනපතා වාචික ප්‍රශ්න පහක්, ස්ථාවර නියෝග 27(2) යටතේ එක් ප්‍රශ්නයක් සහ ස්ථාවර නියෝග 22(1) සිට (6) දක්වා යටතේ වන කටයුතු සඳහා ද සෑම හමුවකදී ම කාලය වෙන් කරනු ඇත.
ඊට අමතරව ඡන්ද විමසීම් සිදුකරන දිනවලදී හැර ප.ව. 6 සිට ප.ව. 6:30 දක්වා කාලය තුළ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර 50:50 පදනමක් මත විවාදයන් පැවැත්වෙනු ඇතැයි ද මහලේකම්වරිය වැඩිදුරටත් සදහන් කළා ය.