දේශපාලන
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මතයි!
image for ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මතයි!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වර්තමාන ජනාධිපතිවරයාගේ සහ මෙරට හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනත් කෙටුම්පතක් වැඩි ඡන්ද 150කින් ඊයේ (10) දිනයේදී සම්මත විණි.

ඒ අනුව ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත් කෙටුම්පත නීතියක් බවට අනුමත කරමින් කථානායකවරයා ඊයේ (10) පස්වරුවේ එයට අත්සන් තැබී ය.

මැතිවරණ පොරොන්දු : හිටපු ජනාධිපතිවරුන් සම්ප්‍රදායිකව භුක්ති විඳි විශේෂ වරප්‍රසාද සහ ජීවිතාන්තය දක්වා වූ ප්‍රතිලාභ අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය (NPP) ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය තම මැතිවරණ ව්‍යාපාරවලදී වර්තමාන ජනාධිපතිවරයාගේ සහ හිටපු ජනපතිවරුන්ගේ අතිරික්ත වරප්‍රසාද කප්පාදු කරන බවට පොරොන්දු විය.

ඊයේ දිනයේදී සම්මත කළ පනතින් පරිච්ඡින්න වන 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත මගින් හිටපු ජනාධිපතිවරුන්හට නිල නිවාස, වාහන, කාර්ය මණ්ඩලය සහ වෙනත් පහසුකම් බදු ගෙවන්නන්ගේ වියදමින් හිමි විය. 

මෙම වරප්‍රසාද අවලංගු කිරීම වනාහී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු මූල්‍ය අර්බුදය මෙන්ම පාලකයින්ට හිමිවූ දේශපාලන වරප්‍රසාද සහ ඔවුන්ගේ නාස්තිකාර වියදම් පිළිබඳව මහජනතාව තුළ හටගත් අප්‍රසාදය හමුවේ සිදුවූවක් ලෙස ද පෙන්වා දිය හැකි ය.

කෙසේ වුවත් මේ පනත හඳුන්වා දීමෙන් පාලක – පාලිත වගවීම, නීතිය හමුවේ සමානාත්මතාවය සහ අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීමේ අවශ්‍යතාවය පිළිබඳව ප්‍රබල පණිවිඩයක් ලබා දීමට රජය අරමුණු කළ බව විශ්ලේෂකයෝ පවසති.