
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) අතර මෙම වසර මුලදී අත්සන් කරන ලද ගිවිසුම් පිළිබඳ යෝජනාවක් අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) අතර මෙම වසර මුලදී අත්සන් කරන ලද ගිවිසුම් පිළිබඳ යෝජනාවක් අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී.
ඒ අනුව ගරු කථානායකතුමා විසින් සභාවට දැනුම් දුන්නේ එම යෝජනාව ඡන්ද 163ක විශේෂ බහුතරයකින් සම්මත වූ බවයි.
එමෙන්ම යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ වී නොතිබූ අතර, කිසිවෙකුත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී නොසිටියහ.
මොකක්ද මේ ගිවිසුම? : ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ලෝක රජයන්ගේ සමුළුව (World Governments Summit 2025) සඳහා සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදුකළ තෙදින නිල සංචාරයේදී මෙම ගිවිසුම අත්සන් කරන ලදී.
මෙම ගිවිසුම වනාහි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් හෝ එම රාජ්‍යයේ නීති යටතේ පිහිටුවන ලද සමාගම් හෝ වෙනත් සංගම් විසින් ශ්‍රී ලංකාවේ සිදුකරන ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා පිහිටුවන ලද්දකි.
ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමට මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් දෙරට අතර පවතින ආයෝජන ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට මෙම ගිවිසුම අත්සන් කරන ලදී.
ඒ අනුව මෙම ද්විපාර්ශ්වික ගිවිසුම විදේශීය ආයෝජනවල ආරක්ෂාව තහවුරු කරමින්, ගෝලීය වෙළෙඳපොළ තුළ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා ආරක්ෂිත නීතිමය රාමුවක් ස්ථාපිත කිරීම අරමුණු කර තිබේ.
එය විනිවිදභාවයෙන් යුක්ත, ස්ථාවර ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීමත්, ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ ව්‍යාපාරවල ව්‍යාප්තිය පෝෂණය කිරීමත් අරමුණු කර ගෙන ඇත.
මෙම ගිවිසුම මෙරට සෘජු විදේශ ආයෝජන (FDI) ඉහළ නැංවීමට මෙන්ම ශ්‍රී ලංකාව වඩාත් ආකර්ෂණීය ආයෝජන කලාපයක් බවට පත්කිරීමට වර්තමාන ආණ්ඩුවේ කැපවීම ද ඉස්මතු කරයි.