ආර්ථික
අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ප්‍රේෂණ 18%කින් ඉහළට!
image for අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ප්‍රේෂණ 18%කින් ඉහළට!

2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 18%කින් එනම්, ඇමරිකානු ඩොලර් මිලියන 680.8ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව මේ වසරේ මුල් මාස අටෙහි මුළු ප්‍රේෂණ ප්‍රමාණය 19.5%කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 5.12ක් දක්වා වර්ධනය වී ඇති බව එම දත්ත පෙන්නුම් කරයි. 

පසුගිය අවුරුදු දෙක තුළ විශාල පිරිසක් විදේශ රැකියා සඳහා මෙරටින් පිටව යාම මෙයට ප්‍රධානතම හේතුව ලෙස දැක්විය හැකිය.

ශ්‍රම හා බුද්ධි ගලනය : පසුගිය වසර හයක කාලය තුළදී වාර්තා කළ ඉහළම විදේශ ප්‍රේෂණ අගය 2024 වසරේදී මෙරටට ගලා ආ ශ්‍රමික ප්‍රේෂණ ධාරාව බව නිල දත්ත වාර්තා පෙන්වා දෙයි. 

ඒ අනුව 2024 වසරේදී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය 2023 වසරට වඩා 10.1%කින් වැඩි අතර, එය ඇමරිකානු ඩොලර් බිලියන 6.57ක් ලෙස වාර්තා වී ඇත.

ප්‍රධාන ආදායම් මාර්ගයක් :  2022දී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව නැවත නැඟීසිටින මොහොතක, විදේශ විනිමය මෙරටට ගලා එන ප්‍රධාන මාර්ගයක් ලෙස විදේශ ශ්‍රමික ප්‍රේෂණ සැලකේ.

2022දී ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් පසුව ඉහළ විදේශ විනිමයක් උපයා ගැනීම සඳහා මෙරට වෘත්තිකයන් ඇතුළු ශ්‍රමිකයින් වැඩි දෙනෙක් විදේශ රැකියා සඳහා යොමුකරවීමට නිලධාරීන් ක්‍රියා කරමින් සිටී.

ඒ අනුව 2025 වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලාංකිකයින් 144,379 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) නිල දත්ත පෙන්වා දෙයි. 

එම දත්තවලට අනුව එකී කාලය තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය කාන්තා ශ්‍රමිකයින්ට වඩා පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. 

ඒ අනුව කාන්තා ශ්‍රමිකයින් 55,695 දෙනෙකු හා පිරිමි ශ්‍රමිකයින් 88,684 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇති බව එකී දත්ත වාර්තා තුළ සඳහන් ය.

අවිධිමත් මුදල් හුවමාරු ක්‍රම : 2021 වසරේදී බොහෝ විදේශගත ශ්‍රමිකයින් අවිධිමත් මුදල් හුවමාරු ක්‍රම මගින් විදේශ විනිමය මෙරටට එවීමට යොමුවීම නිසා නිල මාර්ගවලින් ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ශීඝ්‍රයෙන් පහත වැටුණි. 

අවිධිමත් ක්‍රම හරහා විධිමත් බැංකු ක්‍රමයෙන් හිමිවනවාට වඩා වැඩි විනිමය අනුපාතයක් ඔවුන්ට ලැබුණි.

මහ බැංකුව විසින් පොලී අනුපාත අඩු මට්ටමක පවත්වා ගැනීම සඳහා මුදල් මුද්‍රණය කිරීම හේතුවෙන් විධිමත් බැංකු පද්ධතියෙන් පිටත සමාන්තර විනිමය අනුපාත ක්‍රමයක් ඇති විය. 

නමුත් මේ වන විට විදේශ සංචිත ශක්තිමත්වීම හරහා විනිමය අනුපාතය ස්ථවර තත්වයකට පැමිණ ඇති අතර අවිධිමත් වෙළෙඳපොලේ හා විධිමත් වෙළෙඳපොලේ අතර විශාල විනිමය අනුපාතික වෙනසක් දැකිය නොහැක.