
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී 2025 අයවැය ප්‍රතිපාදන යටතේ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සමාලෝචනයක් සහ 2026 අයවැය සඳහා පූර්ව සාකච්ඡාවක් පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී 2025 අයවැය ප්‍රතිපාදන යටතේ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සමාලෝචනයක් සහ 2026 අයවැය සඳහා පූර්ව සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාවට කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.
ජනපතිගේ අවධානයට : කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් මගින් මෙරට කර්මාන්ත මුහුණ දෙන අභියෝග, ගැටලු සහ මෙරට දළ දේශීය නිෂ්පාදනයට කාර්මික හා නිෂ්පාදන අංශවලින් ලබෙන දායකත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් අනාගත සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
එමෙන්ම මෙරට ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සහ අපනයන ආදායම ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු විය.
කාර්මික කලාප පිහිටුවීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සඳහා සහන ණය ලබා දීම සහ අපනයන අංශයේ පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි ද විශේෂ අවධානයක් මෙහිදී යොමු විය.
කාර්මික කටයුතු සඳහා වෙන් කළ ඉඩම් ආයෝජකයින්ට වෙන් කිරීමේදී පැන නඟින ගැටලු සහ කර්මාන්තකරුවන්ට මෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයට බලපාන ගැටලුවලට දිය හැකි විසඳුම් ගැන ද තවදුරටත් සාකච්ඡා විය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන ණය ලබා දීමේ දුෂ්කරතා සම්බන්ධයෙන් ද ජනපතිගේ අවධානය යොමු විය.
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම ගැටලු විසඳීමට එකඟතාව පළ කළේය.
උක් ගොවීන්ට කඩිනම් සහන : සෙවනගල සහ පැල්වත්ත සීනි කම්හල් සම්බන්ධ ගැටලු ද සාකච්ඡාවට බදුන් වූ අතර, උක් ගොවීන්ට ගෙවිය යුතු සියලුම හිඟ ගෙවීම් කඩිනමින් පියවන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
මීට අමතරව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මගින් දැනට සපයන සේවාවන් කාර්යක්ෂමව සම්බන්ධීකරණය කිරීම සඳහා එකී ආයතන ඒකාබද්ධ කිරීමට කඩිනමින් සැලසුම් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
එමෙන්ම මහජනතාවට ලබා දිය යුතු අමතර සේවාවන් පිළිබද සොයා බලා යෝජනා ඉදිරිපත් කරන ලෙස ද ඔහු වැඩිදුරටත් පැවසීය.