ආර්ථික
කොමර්ෂල් බැංකුවේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියනය ඉක්මවයි !
image for කොමර්ෂල් බැංකුවේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියනය ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොළ කොටස්වල මිල ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාවේ කොමර්ෂල් බැංකුව ඇමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් ඇති ප්‍රථම ලැයිස්තුගත ණය දෙන්නා බවට පත්ව ඇත.

2025 අගෝස්තු මස 19 දින ශ්‍රී ලංකා රුපියල් 196.75ක් දක්වා කොටස් මිල ඉහළ යාමත් සමඟ කොමර්ෂල් බැංකුව ඩොලර් බිලියන සීමාව ඉක්මවා ගිය අතර එය 2025 දෙසැම්බරයේදී ශ්‍රී ලංකා රුපියල් 144.75ක් විය.

Bell ringing ceremony : කොළඹ කොටස් වෙළෙඳපොළහි ‘සීනුව නාද කිරීමේ’ උත්සවයකින් (bell ringing ceremony) පසුව ප්‍රකාශයක් කරමින් කොමර්ෂල් බැංකු සභාපති ශර්හාන් මුහ්සීන් පැවසුවේ මෙම විශාල වටිනාකම නිසා කොමර්ෂල් බැංකුව ආයතනික ආයෝජනවලට සහ දර්ශක අරමුදල්වලට ඇතුළත් වන විශාල ප්‍රාග්ධනයක් සහිත සමාගමක් බවට පත්වන බවයි.

ඒ අනුව ඔහු තවදුරටත් සදහන් කළේ මෙමගින් වෙළෙඳපොළ පිළිගැනීම වැඩි වීමට අමතරව, විශාල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය නිසා වෙළඳපොළ ප්‍රාග්ධනය සහ ණය ප්‍රවේශය වැඩි දියුණු වන බවත්, නව අවස්ථා සොයා ගැනීමට මෙන්ම නවෝත්පාදනයන් සඳහා ආයෝජනය කිරීමටත්, කොටස් හිමියන් සඳහා වටිනාකම් නිර්මාණය කිරීම වේගවත් කිරීමටත් හැකියාව ලැබෙන බවයි. 

කොමර්ෂල් බැංකුවට අමතරව ඩොලර් බිලියනයේ සීමාව පසු කර ඇත්තේ තවත් සමාගම් දෙකක් පමණක් බව කොළඹ කොටස් වෙළෙඳපොළසභාපති දිමුතු අබේසේකර පැවසීය.

සුවිශේෂී සංධිස්ථානයක් : 2025 දෙවන කාර්තුවේදී කොමර්ෂල් බැංකුව රුපියල් ට්‍රිලියන 3ක වත්කම ඉක්මවූ ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික අංශයේ බැංකුව බවට පත් විය.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සනත් මනතුංග මේ පිළිබද අදහස් දක්වමින් පැවසුවේ ඔවුන්ගේ ව්‍යාපාර ආකෘතියේ ශක්තිය සහ ඔවුන්ගේ ආයෝජකයින් ඔවුන් කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසය මෙමගින් පිළිබිඹු වෙන බවයි.

කොමර්ෂල් බැංකුව යනු? : කොමර්ෂල් බැංකුව දිවයින පුරා පිහිටි ශාඛා සහ ස්වයංක්‍රීය ATM යන්ත්‍ර ජාලයක් පවත්වාගෙන යන අතර, බංගලාදේශයේ ශාඛා 20ක් සහිත ඒකකයක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරීත්වයක් සහිත Tier I බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් ද පවත්වාගෙන යයි.

මෙම ආයතනයට CBC Finance Ltd සහ Commercial Insurance Brokers (Pvt) Limited ආයතනයන්හි සම්පූර්ණ අයිතිය ද හිමිය.