ආර්ථික
2025 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයේ 9%ක වර්ධනයක්!
image for 2025 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයේ 9%ක වර්ධනයක්!

2025 ජූලි මාසය තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය සම්බන්ධයෙන් පැහැදිලි සහ ස්ථාවර වර්ධනයක් වාර්තා වී ඇත.
ඒ, 2024 ජූලි මාසයේදී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 414.38ට සාපේක්ෂව 9.84%ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 455.16 දක්වා ඉහළ යාමත් සමග ය.

යුරෝපා සංගමයේ (එක්සත් රාජධානිය හැර) රටවල් වෙත කෙරුණු ඇගළුම් අපනයන 26.69%ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ අතර, වෙනත් වෙළෙඳපොළවල් වෙත ඇගළුම් නැව්ගත කිරීම් 24.24%කින් වර්ධනය විය. 

කෙසේ නමුත් එක්සත් රාජධානිය වෙත සිදු කළ අපනයන 0.72%ක පමණ සුළු වර්ධනයක් පමණක් පෙන්නුම් කළ අතර, ඇමෙරිකා එක්සත් ජනපදය වෙත කෙරුණු අපනයන 2.7%කින් පහත වැටී ඇති බව පෙනී යයි.

පෙර වසරට වඩා පැහැදිලි වැඩිවීමක් :  2025 ජනවාරි සිට ජූලි දක්වා සමස්ත කාලසීමාව තුළ මෙරට මුළු ඇඟළුම් අපනයනයන්හි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2,916.10ක් පමණ වූ අතර, එය 2024 වසරේ එම කාල සීමාවේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 2,673.19ට සාපේක්ෂව 9.09%ක වර්ධනයකි. 

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) ප්‍රකාශකයෙකු මේ සම්බන්ධයෙන් සියඅදහස් දක්වමින් සඳහන් කළේ 2025 වසරේ මුල් මාස හත තුළ දක්නට ලැබුණු වර්ධනය, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ අනුවර්තනය වීමේ හැකියාව සහ යුරෝපා සංගමය වැනි ප්‍රධාන වෙළඳපොළවල් තුළ එහි ස්ථාවරත්වය ඉස්මතු කරන බවයි.