ආර්ථික
ප්‍රංශයේ ලැක්ටලිස් සමාගම ෆොන්ටෙරා කොටස් මිලදී ගනී
image for ප්‍රංශයේ ලැක්ටලිස් සමාගම ෆොන්ටෙරා කොටස් මිලදී ගනී

නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගම විසින් ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ද ඇතුළුව සිය පාරිභෝගික, අමුද්‍රව්‍ය සහ ආහාර ආදී සේවාවන් සපයන ව්‍යාපාරවලින් වැඩි ප්‍රමාණයක් ප්‍රංශයේ ලැක්ටලිස් සමාගමට නවසීලන්ත ඩොලර් බිලියන 3.845කට විකිණීමට එකඟ වී ඇත.

විකිණූ කොටස් : මෙකී විකිණීමට ෆොන්ටෙරා සමාගමේ ගෝලීය පාරිභෝගික ව්‍යාපාර (චීනය හැර), පාරිභෝගික සන්නාම, ඕෂනියා සහ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ආහාර සේවා සහ අමුද්‍රව්‍ය ව්‍යාපාර, මැදපෙරදිග හා අප්‍රිකාවේ ආහාර සේවා ව්‍යාපාර ද ඇතුළත් වන බව ෆොන්ටෙරා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඊට අමතරව, ඕස්ට්‍රේලියාවේ බේගා සන්නාමය ද මෙම ගනුදෙනුවට ඇතුළත් කිරීම සඳහා තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවත්, එකී සාකච්ඡා සාර්ථක වුවහොත් ගනුදෙනුවට තවත් ඩොලර් මිලියන 375ක් එකතු වනු ඇති බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන් කර ඇත.

විශේෂඥ අදහස් : ෆොන්ටෙරාහි ප්‍රධාන විධායක නිලධාරී මයිල්ස් හුරෙල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ලොව විශාලතම කිරි නිෂ්පාදන සමාගම ලෙස මෙකී සන්නාම සහ ව්‍යාපාර සියල්ලක්ම පාහේ වඩා සාර්ථක මට්ටමකට ගෙන යාමට අවශ්‍ය ශක්තිය ලැක්ටලිස් සමාගම සතුව ඇති බවයි. 

එමෙන්ම ෆොන්ටෙරා සමාගමේ ගොවීන්ට ඔවුන්ගේ සාර්ථකත්වයෙන් අඛණ්ඩව ප්‍රතිලාභ ලැබෙනු ඇති බවත්, ලැක්ටලිස් අපගේ වඩාත්ම වැදගත් අමුද්‍රව්‍ය පාරිභෝගිකයෙක් බවට පත්වනු ඇති බවත් යනුවෙන් ඔහු පැවසීය.

ෆොන්ටෙරා අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති පීටර් මැක්බ්‍රයිඩ් මහතා පැවසුවේ  වෙනත් සමාගමකට විකිණීම මූලික මහජන කොටස් නිකුතුවකට වඩා වේගවත් බවයි.

මේ පිළිබද උනන්දුවක් දක්වන ලද ලංසුකරුවන් කිහිප දෙනෙකු සමඟ තරගකාරී විකුණුම් ක්‍රියාවලියක නිරත වීමෙන් පසුව මෙම ව්‍යාපාරය ලැක්ටලිස් සමාගමට විකිණීම දිගු කාලීන වූත්, ඉහළම වටිනාකමක් ඇති විකල්පය බව ෆොන්ටෙරා අධ්‍යක්ෂ මණ්ඩලය විශ්වාස කරයි. 

කවුද මේ ලැක්ටලිස්? : වර්ෂ 1933 දී ආරම්භ කරන ලද ප්‍රංශ පවුල් ව්‍යාපාරයක් වන ලැක්ටලිස් සමාගම රටවල් 50ක පමණ තම ව්‍යාපාර පවත්වාගෙන යන අතර, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ක්‍රාෆ්ට් සන්නාමය ද ඔවුන් අත්පත් කර ගෙන ඇත.