වාණිජ මණ්ඩලයේ අදහස : මෙම වැදගත් පියවර එක්සත් රාජධානියේ අඛණ්ඩ වෙළෙඳ විවෘතභාවය සහ නම්‍යශීලීභාවය පිළිබඳ කැපවීම පිළිබිඹු කරන අතර, ශ්‍රී ලංකා අපනයනකරුවන්ට මහා පරිමාණ වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීම සඳහා වැඩි අවධානයක් ලබා දෙන බවත් වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව එක්සත් රාජධානියට තම බදු රහිත ප්‍රවේශය තවදුරටත් පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට 100%ක යෙදවුම් ඕනෑම රටකින් ලබා ගැනීමට ඉඩ සලසන මෙම ප්‍රතිසංස්කරණය මගින් ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රධානතම කර්මාන්ත අපනයන අංශය වන ඇඟලුම් කර්මාන්තයට කාලෝචිත තල්ලුවක් ලබා දෙනු ඇත.
මීට අමතරව ආසියානු රටවල් 18ක් පුරා ව්‍යාප්ත කර ඇති කලාපීය සමුච්චිත විධිවිධාන මඟින් සැපයුම් දාම තවදුරටත් ශක්තිමත් කරන අතර අනෙකුත් අපනයන ක්ෂේත්‍ර සඳහා ද අවස්ථාවන් මෙයින් විවෘත වනු ඇති බව වාණිජ මණ්ඩලය තවදුරටත් සඳහන් කර තිබේ.
උත්සාහය අගය කරමු : ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මේ පිළිබද අදහස් දක්වමින් සදහන් කළේ, මෙය ඉදිරියට ගෙන යාම සඳහා දායක වූ එක්සත් රාජධානියේ රජය, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා රජය සහ ඇඟලුම් කර්මාන්තය පිළිබඳ ඒකාබද්ධ සංගම් සංසදය (Joint Apparel Association Forum) විසින් ගත් උත්සාහයන් බෙහෙවින් අගය කරන බවයි.
එමෙන්ම ඔහු තවදුරටත් සඳහන් කළේ, ලිහිල් කරන ලද සම්භවය පිළිබඳ නීති ( liberalized rules) ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ප්‍රබල උත්තේජනයක් සපයනු ඇති බවත්, ගෝලීය සැපයුම් දාමයන්හි විශ්වාසනීය සහ තරගකාරී හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාවරය ශක්තිමත් කිරීමට එය උපකාරී වනු ඇති බවත් ය.
ඒ අනුව වැඩිදුර අදහස් දක්වමින් ලංකා වාණිජ මණ්ඩලය පවසා සිටියේ ශ්‍රී ලංකා අපනයනකරුවන්ව මෙම නව වෙළෙඳ විධිවිධාන පිළිබඳව දැනුවත් කර, පවතින අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට දිරිමත් කරන බවයි.
මෙම සංක්‍රාන්තියට සහාය වීම සඳහා එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා රජය සමඟ තවදුරටත් සමීපව සහයෝගයෙන් කටයුතු කරමින් තොරතුරු බෙදා හැරීමට සහ පෞද්ගලික අංශය මේ පිළිබද පුළුල්ව දැනුවත්කිරීමට ද අපේක්ෂා කරන බව වාණිජ මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.