ආර්ථික
මේ අනුරගේ ලී ක්වාන් යූ මොහොතද?
image for මේ අනුරගේ ලී ක්වාන් යූ මොහොතද?

2015 දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දූෂණ පැමිණිලි ලැබීමෙන් පසු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව Sunday Times පුවත්පත වාර්තා කරයි.

මේ අනුව දූෂණ චෝදනාවලට මුහුණ දෙන වත්මන් රජයේ පළමු අමාත්‍යවරයා අමාත්‍යවරයා කුමාර ජයකොඩි වනු ඇත. ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සමීපතයෙකු සැලකෙන අතර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණ කැබිනට් මණ්ඩලයට පත්වූවෙකි.

 

නඩු නිමිත්ත: රුපියල් මිලියන 8 ක අයථා මුදල් පරිහරණය කිරීමේ චෝදනාව මත අමාත්‍යවරයාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නියමිත බව එම පුවත්පත් වාර්තාව වැඩි දුරටත් පවසයි.

 

පොහොර සංස්ථාවේ සේවය කළ කාලය ඇතුළත විශේෂිත ටෙන්ඩරයක් ප්‍රදානය කළ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කුමාර ජයකොඩි සේවය කර ඇත. ගෙවීම් ක්‍රියා පටිපාටි සහ ටෙන්ඩර බැඳුම්කර සම්බන්ධයෙන් පිළිබඳ ගැටලු මතුවීමෙන් පසුව මෙම ටෙන්ඩරය පිළිබඳ පරීක්ෂණ ආරම්භ විය.

 

අයථා පරිහරණය පිළිබඳ පෙර විමර්ශන සලකා බැලීමෙන් පසු අල්ලස් කොමිසම පරීක්ෂණ නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව Sunday Times වාර්තාව පවසයි.

 

පාර්ලිමේතුවේදිත් චෝදනා: මීට පෙර, මඩකලපුව දිස්ත්‍රික් ITAK පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රශ්නය මතු කරමින් කියා සිටියේ පොහොර සංස්ථාවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වූ පුද්ගලයෙකු NPP කැබිනට් මණ්ඩලයේ සේවය කරන බවයි.

 

CIABOC විසින් මෙම පියවර ගනු ලැබුවේ පසුගිය රජයන්ගේ අමාත්‍යවරුන්ට එරෙහිව ගොනු කර ඇති විශාල දූෂණ නඩු මාලාවක් හමුවේය.

 

අනුරගේ ස්ථාවරය: ජාතික ජනබලවේගය නායක සහ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානයකගේ ආණ්ඩුව පුළුල් දූෂණ මර්දන වැලපිළිවෙලක් මේ වන විට දියත් කර ඇත.

 

දූෂණ විරෝධී රැල්ලක් හරහා බලයට පත් වූ මාලිමා රජයේ මතය වී ඇත්තේ පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව අල්ලස හා දූෂණයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමයි.

 

විශේෂයෙන්ම ස්වාධීන අල්ලස් කොමිසම මේ සම්බන්ධයෙන් විශාල පරිශ්‍රමයක් දරනු පෙනේ.

 

රජයේ අමාත්‍යවරයකුට එරෙහිව පැන නැඟී ඇති මෙම තත්වය මාලිමා රජයේ දූෂණ විරෝධී පිළිවෙත සම්බන්ධයෙන් ලිට්මස් පරීක්ෂාවක් වනු ඇති බව බොහෝ දේශපාලන විචාරකයින්ගේ මතයයි.

 

එසේම මෙය බොහෝ දෙනා අනුර කුමාර ජනාධිපතිවරයාගේ ලී ක්වාන් යූ මොහොත ලෙස හැඳින්වීමට නැඹුරුවක් දක්වනු බවද පෙනේ. 

 

දූෂණය මුලිනුපුටා දැමීමට සිංගප්පූරු ජනාධිපති ලී ක්වාන් යූගේ රජය කටයුතු කරමින් සිටින විට 1980 මැද භාගයේ ඔහුගේම රජයේ ප්‍රභල අමාත්‍යවරයෙකුට එරෙහිව දූෂණ විමර්ෂන ආරම්භ විය.

 

මේ සමගම එම අමාත්‍යවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන තැනට කටයුතු සැලසුන අතර, අධිකරණය කටයුතු ක්‍රියාත්මක වීමට පෙර ඔහු  සියදිවිනසා ගැනීමට කටයුතු කළේය.