ආර්ථික
දිළිඳුකම පිටුදැකීමට, ගමේ සංවර්ධනයට ආණ්ඩුව අත ගසයි!
image for දිළිඳුකම පිටුදැකීමට, ගමේ සංවර්ධනයට ආණ්ඩුව අත ගසයි!

‘දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන’ 2025 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට 2025 අයවැය යටතේ අරමුදල් වෙන් කිරීමට අනුමැතිය ලැබී ඇති බව ඊයේ (12) පැවති කැබිනට් මණ්ඩල‍යේ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී දැනුම් දී ඇත.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙලෙස හිමිව ඇත.

මොකක්ද මේ වැඩසටහන? : මෙය දිළිඳුකම අවම කිරීම සහ කලාපීය සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කරගත් ජාතික මට්ටමේ වැඩසටහනකි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් බහුමාන දරිද්‍රතා දර්ශකය (Multidimensional Poverty Index – MPI ) හරහා හඳුනාගෙන ඇති දිළිඳුකමේ මට්ටම් මත පදනම්ව එක් එක් දිස්ත්‍රික්කය සඳහා මෙම අරමුදලෙන් මුදල් වෙන් කරනු ලැබේ. 

එමඟින් වැඩි අවශ්‍යතාවක් ඇති ප්‍රදේශවලට වැඩි සම්පත් යොමු කිරීමට බලාපොරොත්තුවන බව ඔවුන් සදහන් කරන ලදී.

මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 2,000 ක මුදලක් වෙන් කර ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තවදුරටත් සදහන් කළේ ය.

ආර්ථික හා සමාජීය යන දෙඅංශයේම දිළිඳුකම ඉලක්ක කරගනිමින් සංවර්ධන විෂමතාවලට විසදුම් ලබාදීම සඳහා මෙම වැඩසටහන සකස් කර ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කළේ ය.

යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, දේශීය නිෂ්පාදන හැකියාවන් ප්‍රවර්ධනය කිරීම, කාර්යක්ෂම සේවා සැපයීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, වෙළෙඳ සහ අලෙවිකරණ පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මෙම දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනෙහි ප්‍රධාන අරමුණු වේ.

මෙම වැඩසටහන මඟින් යටිතල පහසුකම් සඳහා කරන ආයෝජන සහ ධාරිතා සංවර්ධනය ඒකාබද්ධ කිරීම තුළින් දිළිඳුකමට හේතු වන අභියෝගවලට මුහුණ දෙමින් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වූ සමතුලිත ආර්ථික වර්ධනයක් ඇති කිරීම අරමුණු කරයි. 

ග්‍රාමීය ප්‍රජාවන් සවිබල ගැන්වීම තුළින් ව්‍යවසායකත්වය පෝෂණය කිරීම සහ සමස්ත ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියා කරනු ඇතැයි රජය අපේක්ෂා කරන බව නලින්ද ජයතිස්ස වැඩිදුරටත් පැවසීය.