ආර්ථික
ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය පහළට!
image for ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය පහළට!

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, 2025 වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය 3.8% දක්වා පහත වැටී ඇත. එය වසරකට පෙර පැවති 4.5%ට සාපේක්ෂව අඩු අගයක් ගනී.

කැපී පෙනෙන වර්ධනයක් : 2025 වසරේ පළමු කාර්තුවේදී රැකියා නියුක්ත මුළු ජනගහනය මිලියන 8.13ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ රැකියා නියුක්ත මුළු ජනගහනය වූ මිලියන 7.9ට සාපේක්ෂව වැඩිවීමකි. 

ඒ අනුව පසුගිය මාස 12 තුළ රැකියා 237,912ක් පමණ අලුතින් නිර්මාණය වී ඇති බව පෙන්නුම් කරයි.

හේතු සාධක : 2022 වසරේ පැවති උද්ධමන තත්වය සහ ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු මෙරට ඇති වූ ආර්ථික අර්බුදයේ උච්චතම කාලවකවානුව වන 2023 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය 5.2%ක් දක්වා ඉහළ ගියේ ය.

රුපියල අවපාතවීම හේතුවෙන් ඉදිකිරීම් කටයුතු නතර වූ අතර, කම්කරුවන් නැවත ගම්බිම්වලට ගොස් ගොවිතැන් හෝ වෙනත් රැකියාවල නිරත වූ අතර ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ වීමත් සමඟ ඔවුන් නැවත ඉදිකිරීම් ක්ෂේත්‍රයට පැමිණෙනු දක්නට ලැබිණ. 

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පසුගිය වසරේ කෘෂිකාර්මික අංශයේ රැකියාවලනියැලුණු සේවකයන් ගණන 2,039,572 2025ක් ලෙස වාර්තා වූ අතර, එය 2025 පළමු කාර්තුවේදී සේවකයින් 1,906,832ක් දක්වා පහත වැටී ඇත.

නමුත් කර්මාන්ත අංශයේ සේවක සංඛ්‍යාව 1,949,786 සිට 2,153,102 දක්වා වර්ධනය වී ඇත.

එමෙන්ම සේවා අංශයේ සේවක සංඛ්‍යාව 3,912,333 සිට 4,097,671 දක්වා වර්ධනය වී ඇත.

පසුගිය කාලයේ පැවති උද්ධමන තත්වය නිසා ශ්‍රී ලාංකිකයෝ දහස් ගණනක් මැදපෙරදිග රටවල්වලට හා ස්ථාවර ආර්ථිකයන් සහිත රටවල රැකියා සඳහා විදේශගත වූහ.

එය මෙරට විරැකියාවෙන් පෙලෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට හේතු විය.