ආර්ථික
2025 වසරේ පළමු අර්ධයෙහි රාජ්‍ය ආදායම 24.7%කින් ඉහළට
image for 2025 වසරේ පළමු අර්ධයෙහි රාජ්‍ය ආදායම 24.7%කින් ඉහළට

2025 වර්ෂයේ පළමු මාස හයට අදාළව මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (05) නිකුත් කළ නවතම වාර්තාවකට අනුව අනාවරණය වන්නේ රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 2.3ක් දක්වා, එනම් පසුගිය වසරට සාපේක්ෂව 24.7%කින් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව මේ වසරට නියමිත රාජ්‍ය ආදායම් ඉලක්කවලින් 46.9%ක් දැනටමත් සපුරාගෙන ඇති බව ද එම වාර්තාවෙහි සඳහන් වේ.

එම වාර්තාවට අනුව රාජ්‍ය ණය හිඟය රු. බිලියන 405.6 දක්වා අඩු වී ඇති අතර , එය පසුගිය වසරට සාපේක්ෂව 32.3%ක අඩු වීමකි..

ඒ අනුව මෙම වාර්තාව වර්තමාන රජය විසින් රට තුළ ආර්ථික ස්ථාවරත්වය නැවත ඇති කිරීම සදහා ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්හි සාර්ථකත්වය පෙන්වන සාධකයක් ලෙස හදුනාගත හැක.

වාහන බදුත් ඉහළට : වාහන ආනයන මත පනවන ලද නිෂ්පාදන බදු (excise tax) හරහා රු. බිලියන 129ක් ආදායමක් මේ වන විට ලැබී ඇති අතර, මෙය පසුගිය වසරට සාපේක්ෂව 335.6%ක ඉහළ යාමකි.

මේ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද (IMF) අවධානය යොමුව ඇති අතර, ඒ අනුව රජය මෙම ආදායම් මතම යැපීම අඩු කිරීමට විකල්ප ක්‍රියාමාර්ග ගන්නා බව IMF මගින් නිකුත් කරන ලද වාර්තාවක ද සඳහන් වේ.

VAT හා ආදායම් බදු : මුදල් අමාත්‍යශය විසින් නිකුත් කළ මෙම වාර්තාවට අනුව එකතු කළ අගය මත බදු නැතහොත් VAT බදු මගින් ලැබුණු ආදායම රු. බිලියන 876ක් වන අතර එය පෙර වසරට වඩා 27.6%කින් වැඩි වී ඇත..

එමෙන් ම ආදායම් බද්දෙන් රජයට ලැබුණු මුදල රු. බිලියන 489ක් ලෙස වාර්තා වෙයි. එය පසුගිය වසරේ ආදායමට වඩා 9.2%ක වැඩි වීමකි. 

වියදම් වැඩි වෙයි  : නමුත් 2025 වසරේ පළමු මාස හය තුළ වාර්තා වූ සමස්ත වියදම රු. ට්‍රිලියන 2.7ක් වන අතර, එය පෙර වසරට වඩා 10.9%කින් වැඩි වී ඇත. 

කෙසේ වුවත් සංවර්ධනය සදහා වැය කළ සමස්ත මුදල පසුගිය වසරට වඩා 8.6%කින් පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත්තේ 2023 – 2024 කාලසීමාව තුළ සංවර්ධන වියදම් සදහා වන GDP අගය 1.1%ට අඩු අගයක් ගැනීමට හේතු ලෙස රජයේ ව්‍යාපෘති ඇගයීම් සහ නිරීක්ෂණයේ දුර්වලතා, ඒකාබද්ධ වූ දත්ත පද්ධතියක් රජය සතු නොවීම, සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට දැක්වූ මැලිකම ආදියයි. 

ඒ අනුව ඔවුන් තවදුරටත් කියා සිටින්නේ සංවර්ධන වියදම් සාර්ථකව හා ඵලදායීව යෙදවීම සඳහා PIMA ක්‍රමය (Public Investment Management Appraisal) යටතේ මෙරටට සපයන තාක්ෂණික සහාය ප්‍රයෝජනයට ගෙන ඉදිරි නව ව්‍යාපෘති සැලසුම් හා ඒවයේ කාර්යක්ෂමතාව වැඩි කර ගත යුතු බවයි.