ආර්ථික
හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වෙයි
image for හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස  පත්වෙයි

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සරත් කුමානායක විසින් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම වෙත ප්‍රදානය කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (23) සිදු විය.

හිටපු අමාත්‍යවරයෙක්: ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම රජයේ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

මුදල් අමාත්‍යාංශයේ ‍ලේකම්ධුරය භාර ගැනීම උදෙසා ඔහු සිය අමාත්‍යධුරයෙන් පසුගිය (20) වන දින ඉල්ලා අස්විය.

ඔහු නව පාර්ලීමේන්තුව සඳහා එක් වූයේ ජතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසිනි.

සුදුසුකම්: ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MBA) ලබාගෙන ඇති අතර මැලේසියාවේ කළමණාකරණ හා විද්‍යා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමිකර ගෙන තිබේ.

ඊට අමතරව ඔහු එක්සත් රාජධානියේ වරලත් කළමණාකරණ ගණකාධිකාරි ආයතනයේ(CIMA) සහ වරලත් සහතිකලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ(ACCA) සාමාජිකයෙකි.

ඔහු මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විණිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොලේ නියාමන කටයුතු වලද නියැලී ඇත. 

හිටපු ලේකම්: මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධන සිය ධුරයෙන් පසුගිය සතියේ විශ්‍රාම ගත්තේය.

එසේම ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස ඉදිරියේදී වැඩ භාර ගනීමට නියමිතය.