දේශපාලන
දකුණු කොරියාවට නව ජනාධිපතිවරයෙක්!
image for දකුණු කොරියාවට නව ජනාධිපතිවරයෙක්!

දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා ලෙස ලී ජේ මියුන්ග් (Lee Jea Myung) දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ එරට අගනුවර වන සෝල් හී පිහිටි ජාතික සභාවේ ඊයේ (03) පැවති පදවි ප්‍රාප්ති උත්සවයේදීය.

දකුණු කොරියාවේ ඊයේ දින (03) පැවති ජනාධිපතිවරණයේදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වු  ලී ජේ මියුන්ග් ජයග්‍රහණය කළේය.

ඒ ප්‍රකාශිත ඡන්ද අතරින් 50% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගනිමිනි.

 එක්සත් රටක්: ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර පැය කිහිපයකට පසුව ඔහු සිය පදවියේ දිවුරුම් දෙමින් සඳහන් කර ඇත්තේ තමන් එක්සත් රටක් නිර්මාණය කිරීම උදෙසා කැපවන බවයි.

එමෙන්ම ඔහු සිය කතාවේදී වඩා නම්‍යශීලි ප්‍රායෝගික රජයක් ස්ථාපිත කරන බවටද පොරාන්දු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

තමන් ජනතාව සුවපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීමෙන්  බවද ඔහු මෙහිදි සඳහන් කර ඇත.

හදිසි ආර්ථික කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට කඩිනමින් ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කර ඇතැයි ‍විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අභියෝග: නව ජනාධිපතිවරයා ලෙස ලී ජේ මියුන්ග් හට මුහුණ දීමට අභියෝග කිහිපයක් ඇතැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.

ඒ අතරින් ප්‍රධානතම අභියෝගය වන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයා ලොව රටවලට එරෙහිව පනවා ඇති තීරු බදු සඳහා සාර්ථක ලෙස මුහුණ දීමයි. 

එමෙන්ම එරට ප්‍රධානතම ආර්ථික සගයකු වන චීනය හා ගනුදෙනු කිරීම මෙන්ම ඇමෙරිකාව හා චීනය අතර සමබර සබඳතාවයක් පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමද නව ජනාධිපතිවරයා ඉදිරියේ ඇති ප්‍රධානතම අභියෝගයකි.

උතුරු ‍කොරියාවෙන් එල්ල වන අභියෝග වලට මුහුණ දීමට ද නව ජනාධිපතිවරයාට සිදු වේ.

අර්බුධ සහිත සමයක්: ගෙවුනු මාස 5ක පමණ කාලය දකුණු කොරියාවේ දේශපාලනය තුළ පැවතියේ අර්බුධකාරී වාතාවරණයකි.

පැය හයක පමණ කාලයක් දකුණු කොරියාව හමුදා නීතිය යටතේ තැබීමත් සමග හිටපු ජනාධිපති යුන් සුක් යොයොල් (Yoon Suk Yeol) දැඩි ජනතා අප්‍රසාදයකට ලක් විය.

පසුව ඔහුට එරෙහිව පාර්ලිමේන්තුව විසින් දෝශාභියෝගයක් ගෙන ආ අතර ඔහු  ඉන් පරාජයට පත් වීමත් සමග සිය ධුරය ද අහිමි විය.

ජනාධිපතිවරයෙක් බලයෙන් පහ වු පසු දින 60 ක් ඇතුළත දකුණු කොරියාවේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර මෙම කාලය තුළ එරට වැඩබලන ජනාධිපතිවරු ලෙස  තිදෙනෙකු කටයුතු කර තිබීම ද විශේෂත්වයකි.