දේශපාලන
පළාත් පාලන ආයතන වල නිල කාලය අදින් ඇරඹේ
image for පළාත් පාලන ආයතන වල නිල කාලය අදින්  ඇරඹේ

මෙරට සියළු පළාත් පාලන ආයතන වල නිල කාලය අදින් ආරම්භ වීමට නියමිත බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් මගින් දන්වා තිබේ.

ඒ අනුව මෙරට පිහිටි මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා 339ක නිල කාලය මෙලෙස අදින් (02)  ආරම්භ වනු ඇත.

වසර හතකට පසුව පසුගිය මැයි මස 06 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත් වු අතර එම මැතිවරණයෙන් ලද ප්‍රතිඵලවලට අනුව මෙම සභා පිහිටුවීම සිදු කරන බවද අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

161 ගැටළු නැහැ:මේ අනුව පළාත් පාලන අයතන 161ක් සඳහා නගරාධිපති, උප නගරාධිපති, සභාපති, හා උප සභාපති යන ධූර සඳහා වන නම් ගැසට් කර තිබේ. 

ඒ අනුව ඒවායේ නිල කාලය අද රැස්වන පළමු සභා වරයත් සමග ආරම්භ වන බවද ගැසට් නිවේදනයේ දැක්වේ.

පසුගියදා පැවති මැතිවරණයේ දී මේ පළාත් පාලන ආයතනවල බහුතර බලය කිසියම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් අත්පත් කර ගැනීමට සමත් විය. 

ඒ අනුව ඒවායේ බලය තහවුරු කර ගත් පක්ෂයේ මහ ලේකම්වරයා විසින් අදාළ ධුර සඳහා පත්වන මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා තිබේ.

එබැවින් ඒවායේ කටයුතු කිසිදු ගැටළුවකින් තොරව ආරම්භ කල හැකි බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පාළත් පාලන අමාත්‍යාංශය ගැසට් නිවේදනයේ දක්වා ඇත.

178ක ගැටළු:මේ අතර පළාත් පාලන ආයතන 178ක බහුතර බලය ලබා ගැනීමට කිසිදු දේශපලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සමත්ව නැත.

මේ නිසා ඒවායේ පළමු සභාවාරය අද (02) දින පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.

එම සභාවාරයේ දී ඡන්දයක් පවත්වන අතර එහිදී බහුතර මන්ත්‍රී කැමැත්ත ලබා ගන්නා මන්ත්‍රීවරයා සභාපති හෝ නගරාධිපති ලෙස තේරී පත් වීමට නියමිත බවද අදාල ගැසට් නිවේදනයේ දැක්වේ.

ඉන් පසුව ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන සභාවාරයේ දී යළිත් පොදු එකඟතාවය මත උප සභාපති හා උප නගරාධිපතිවරුන් තෝරා ගැනෙනු ඇත.

මෙහිදි මන්ත්‍රිවරුන්‍ගේ බහුතර කැමැත්ත මත විවෘත ඡන්දයක් හෝ රහස් ඡන්දයක් පැවැත්විය හැකිය.

බලය බෙදී යාම:මෙවර පළාත් පාලන මැතිවරණයේ දී සභිකයින් තෝරාපත් කර ගැනීම සිදු වුයේ පාළත් පාලන ආයතන 341න් 339ක් සදහාය.

ඒ අනුව ජාතික ජන බලවේගය ආයතන 120ක බහුතර බලයක තහවුරු කරගෙන ඇති අතර ආයතන 30ක විපක්ෂය සමග සම බලයක් ලබාගෙන තිබේ.

තවත් ආයතන 117ක් ජයග්‍රහණය ලබා ගත්තද ඒවායේ විපක්ෂයට සාපෙක්ෂව ඇත්තේ සුළුතර ජයක් වන අතර ඔවුන් හිමිකරගෙන ඇති සමස්ත  ආසන සංඛ්‍යාව 3926කි.

සමගි ජන බලවේගය ආයතන 13ක බලය තහවුරු කරගෙන ඇත්තේ මන්ත්‍රී ආසන 1767ක් ජයග්‍රහණය කරමිනි.

මීට අමතරව ඉලංගෙයි තමිල් අරසු කච්චි ආයතන 43ක හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආයතන 6ක බලය ලබාගෙන ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන‍ පෙරමුණ ආසන 742ක් ද, පොදුජන එක්සත් පෙරමුණ ආසන 300ක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන 381ක් ද සර්වජන බලය පක්ෂය ආසන 226ක් ද වශයෙන් ජයග්‍රහණය කර තිබේ.